දින 15කදී සංචාරකයෝ ලක්ෂයක් දිවයිනට

    January, 17, 2024

    2024 පළමු දින 15 තුළදි මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා තිබේ.

    ඒ අනුව 2024 වසරේ ජනවාරි 15 දක්වා කාලපරිච්දෙය තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 101,362 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක් සඳහන් කරයි.

    මෙම වකවානුව තුළ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති දිනය ලෙසින් පසුගිය ජනවාරි 15 වන දා වාර්තා වන අතර, එම සංඛ්‍යාව 8,541 කි.

    මෙම කාලසීමාව තුළ වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 16,263 ක් ලෙසයි.

    මීට අමතරව ඉන්දියාවෙන් සංචාරකයින් 15,324ක්, එක්සත් රාජධානියෙන් 7,741 ක්, ජර්මනියෙන් 7,297ක්, ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.