දුම්කොළ සමාගම යළිත් මෙරට විශාලම සමාගම බවට පත්වෙයි

    February, 15, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ පසුගිය සතිය තුළ දී වාර්තා වූ අනපේක්ෂිත උච්ඡාවචනයන්ගෙන් පසු වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව, විශාලතම සමාගම් ලැයිස්තුව නැවත වරක් සංශෝධනය වී තිබේ.

    මේ අනුව 2021  ජනවාරි අවසාන සතියේ දී වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් අංක 1 දක්වා සීඝ්‍රයෙන් ඉහළට පැමිණි LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී මේ වන විට දෙවැනි තැනට පත්ව තිබෙන අතර රු. බිලියන 206 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියමින් ලංකා දුම්කොළ සමාගම අංක  1 ස්ථානය යළිත් වරක් තහවුරු කර ගෙන ඇත. දෙවන තැන සිටින LOLC හෝල්ඩිංග්ස් හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 204.69 ක් වන අතර තෙවන ස්ථානයේ සිටින ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. බිලියන 203.53 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබයි.

    ඒමෙන්ම ඒක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගම රු. බිලියන 101.26 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගයකට හිමිකම් කියමින් මෙම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය දක්වා පැමිණෙද් දී පසුගිය සිකුරාදා (12) ගනුදෙනු අවසාන විට වෙනත් කිසිදු සමාගමක් රු. බිලියන 100 ඉක්මවූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් නොකීම විශේෂත්වයකි.

    සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.