දේශපාලනික වාසි උදෙසා සිදුවන ප්‍රතිපත්ති වෙනස්වීම් ගැන මහ බැංකුව මෙසේ කියයි

    August, 7, 2018

    නව දේශීය ආදායම් පනත ක්‍රියාවට නැංවීමත් සමඟම ආදායම් බදු අය කිරීමේ ආදායම් පරාසයන් ද පුළුල් ලෙස වෙනස්විය. එහිදී විශාල වශයෙන් ආදායම් ලබන වෘත්තිකයින්ගෙන් වැඩි බදු ආදායමක් ලැබෙන පරිදි දේශීය ආදායම් පනත අලුත් වූ අතර ඊට විවිධ පාර්ශවවලින් දැඩි විරෝධයක් එල්ල වනු දක්නට ලැබිණි. එහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතාවය ද සුළු පටු නොවේ.

    කෙසේ වෙතත් ඊයේ (06) පැවති උත්සව අවස්ථාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විශේෂඥ වෛද්‍යවරුන් සඳහා බලපවත්වන ආදායම් බදු ප්‍රතිශතය 24% සිට 15‍්% දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යවරයා සමඟ පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව තීරණය කළ බවයි. නමුත් ඊට සුළු වේලාවකට පසු මුදල් අමාත්‍යංශය පැවසුවේ විශේෂඥ වෛද්‍යවරුන්ට අදාළ වන ආදායම් බදු සීමාව පහත හෙළීම සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

    මෙලෙස වරින් වර වෙනස්වන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් 2017 මහ බැංකු වාර්තාව කියා සිටී.

    “කෙටිකාලීන දේශපාලනික වාසි උදෙසා ක්‍රියාත්මක වන ප්‍රතිපත්තිමය වෙනස්වීම් අවම කරමින්, දිගුකාලීන දැක්මකින් යුතුව පොදු මහජන අභිවෘද්ධිය කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් තාර්කිකව ප්‍රතිපත්ති සම්පාදනය කිරීම තුළින් පමණක් තවදුරටත් රට දියුණුව කරා මෙහෙයවිය හැකිය.“