”දේශීයත්වය මුසුකර ගනිමින් Viber මෙරට තුළ තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා”

    May, 20, 2016

    Viber දකුණු ආසියානු කලාපයේ ප‍්‍රධානී අනුභව් නයියර් මහතා

    Viber ලොවපුරා ජීවත් වන මිලියන 711 කට අධික පිරිසක් භාවිත කරන ලොව ප‍්‍රමුඛතම පණිවිඩ හුවමාරු ඇප්ලිකේෂනයකි. මෙරට තුළ සිටින මිලියන 5 කට අධික පිරිසක් අද වන විට Viber භාවිත කිරීමට යොමුවී ඇති අතර Viber ස්ටිකර් වැඩිම හුවමාරුවක් සහිත විශිෂ්ඨතම වෙළඳපල අතර පස්වන ස්ථානය ද පසුගියදා මෙරටට හිමිවුණි. නූතන ඩිජිටල් ලොව තුළ Viber ඇප්ලිකේෂනයට හිමිවී තිබෙන සුවිශේෂී ස්ථානය පිළිබඳ, Viber දකුණු ආසියානු කලාපයේ ප‍්‍රධානී අනුභව් නයියර් මහතා අදහස් දැක්වූයේ මෙලෙසිනි

    1. Viber ඇප්ලිකේෂනයට මෙරට තුළ හිමිවී තිබෙන සුවිශේෂී ස්ථානය ගැන ඔබ දරන්නේ මොනවගේ අදහසක්ද ?
    මේ වනවිට මෙරට තුළ මිලියන 5.3 ක ආසන්න පිරිසක් Viber භාවිත කරනවා. පසුගිය මාස 18 තුළ මෙරට Viber භාවිත කරන පිරිසේ සීඝ‍්‍ර වර්ධනයක් දැකගැනීමට හැකිවුණා. ගෝලීය වෙළඳපල හා සසඳා බලන විට ඇත්තටම, Viber වලට මෙරට අති දැවැන්ත වෙළඳපලක් ලෙස හඳුනාගත හැකියි.

    2. මෙරට තුළ Viber ස්ටිකර් වලට දැවැන්ත ජනප‍්‍රියත්වයක් හිමිවීමට බලපෑ ප‍්‍රධාන හේතු ලෙස ඔබ දකින්නේ මොනවාද ?
    මෙරට තුළ වයස අවුරුදු 14 සිට 35 දක්වා වුණු පිරිස නැත්නම් වයස අවුරුදු 40 දක්වා වූ පිරිස අතර Viber ස්ටිකර් අතිශයින් ජනප‍්‍රියයි. මම හිතන්නේ ලංකාවේ අනන්‍යතාවය මීට හේතු වුණා කියලයි. මේ පිරිසට දැනෙන, හැගෙන විවිධ අදහස් ප‍්‍රකාශ කරන්නට වඩාත් යෝග්‍ය මාධ්‍ය ලෙසින් Viber ස්ටිකර් භාවිත කරනවා. Viber ස්ටිකර් වැඩිම හුවමාරුවක් සිදුවෙන විශිෂ්ඨතම වෙළඳපල අතර 5 වන තැන පසුගියදා ශ‍්‍රී ලංකාවට හිමිවුණා. Viber වලට මෙරට තුළ හිමිවී තිබෙන ස්ථානය මෙමගින් යළි යළිත් තහවුරුවනවා.

    3. මෙරට තුළ Viber ස්ටිකර් මෙතරම් ජනප‍්‍රිය වීමට පවතින සංස්කෘතික වටපිටාව හේතුවූවා යැයි ඔබ විශ්වාස කරනවාද ?
    Viber බහුල වශයෙන් භාවිත කරන ලොව අනෙක් රටවලට වඩා Viber ස්ටිකර් වලට මෙරට තුළ දැඩි ජනප‍්‍රියත්වයක් හිමිවී තිබෙනවා. මේ වනවිට සිංහල, දෙමළ භාෂාවලින් පවා දේශීයත්වය කැටිකර ගනිමින් Viber ස්ටිකර් නිර්මාණය වී තිබීමත් ඊට හේතුවී තිබෙන බව මගේ විශ්වාසයයි.

    4. මේ වනවිට Viber ස්ටිකර් අතිශය ජනප‍්‍රියත්වයට පත්වී තිබෙන අනෙකුත් රටවල් මොනවද ?
    රුසියාව, පිලිපීනය, බල්ගේරියාව, සර්බියාව හා ග‍්‍රීසිය ඇතුළු නැගෙනහිර යුරෝපීය රටවල Viber ස්ටිකර් අතිශය ජනප‍්‍රිය වී තිබෙනවා. කෙසේවුවත්, අපේ වැඩි අවධානය යොමුවී තිබෙන්නේ පිලිපීනය, ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව වැනි අග්නිදිග ආසියානු කලාපයේ රටවලටයි.

    5. Viber මගින් ආදායම් උත්පාදනය වන ප‍්‍රධාන ක්ෂේත‍්‍රයන් වී තිබෙන්නේ මොනවද ?
    සාමාන්‍යයෙන් Viber මගින් ආදායම් උත්පාදනය වන ප‍්‍රධාන ක්ෂේත‍්‍ර දෙකක් හඳුනාගන්නට හැකියි. පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලූවොත් Viber ස්ටිකර් සඳහන් කළ හැකියි. Disney හා Marvel සමාගම් වල හවුල්කාරීත්වයෙන් සාධාරණ මිල ගණන් යටතේ Viber භාවිත කරන අයට මේ ස්ටිකර් පැකේජ ලබාගත හැකියි. එමෙන්ම, 'Viber Out' මගින් ඕනෑම ජංගම හෝ ස්ථාවර දුරකථන අංකයකට ඇමතුම් ලබාගැනීමට හැකියි. නමුත්, Viber මගින් තවත් Viber භාවිත කරන්නෙකුට ලබාගන්නා ඇමතුම් සම්පූර්ණයෙන්ම නොමිලේ හිමිකරදෙනවා. ඒවගේම, අනෙකුත් ව්‍යාපාරික ආයතන සමග ඇතිකරගන්නා සහයෝගීතාවය ඔස්සේ ද අප ආදායම් ඉපයීම සිදුකරනවා.

    6. Viber වල පවතින විශේෂත්වය කුමක්ද ?
    Viber මගින් ලබාදෙන Cold පණිවිඩ, Cold ඇමතුම් අතිශය ජනප‍්‍රිය විශේෂාංගයක් බවට පත්වී තිබෙනවා. එමෙන්ම, අප පසුගියදා මෙරටට Viber Public Chats හා Public Accounts හඳුන්වාදුන්නා. ජනප‍්‍රිය චරිත වලට, සන්නාමයන්ට හා ව්‍යාපාරයන්ට මෙය භාවිත කිරීමට හැකියි. එමගින් ඔවුන්ගේ රසිකයින්, පාරිභෝගිකයින් වැනි පිරිස් වෙත සමීප වීමේ අවස්ථාව ඔවුන්ට උදාවෙනවා. පණිවිඩ හුවමාරු කිරීමේ වෙනත් මාධ්‍යයන් වල මෙවැනි සුවිශේෂී ලක්ෂණ දැකගැනීමට ලැබෙන්නේ නැහැ. Viber වල පවතින මේ සුවිශේෂතා තවදුරටත් වර්ධනය කිරීම අප අරමුණ වී තිබෙනවා.

    7. Viber කෙතරම් සුරක්ෂිත මාධ්‍යයක් ද ?
    Viber සෑම අතින්ම සුරක්ෂිත පණිවිඩ හුවමාරු ඇප්ලිකේෂනයක්. භාවිත කරන්නාගේ පෞද්ගලිකත්වය අපිට අතිශය වැදගත් වන නිසා ඇත්තටම අපේ දත්ත වලට පිවිසීමට අපට හැකියාවක් නැහැ. Viber භාවිත කරන අයට වෙනත් අයෙකුගේ මෙහෙයවීම යටතේ ක‍්‍රියාත්මක වන පණිවිඩ හුවමාරු මාධ්‍යයක් ගැන කණගාටුවක් ඇතිනොකිරීම අපේ දැක්මයි. Viber දත්ත සැගවීම මෙරටට හඳුන්වාදී නැහැ. එය පසුව මෙරටට හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

    8. මෙරට තුළ පවතින පණිවිඩ හුවමාරු ඇප්ස් වන WhatsApp වැන්නකට වඩා Viber අතිශය ජනප‍්‍රිය වී තිබෙන ඔබ විශ්වාස කරනවාද ?
    අපේ ග‍්‍රාහක සංඛ්‍යාව ගැන දැනගැනීමට අපට හැකියි. ඒවගේම තුන්වන පාර්ශ්වයේ නිරීක්ෂණයත් මෙහිදී අතිශය වැදගත් වනවා. www.appannie.com නමින් හඳුන්වන ඔන්ලයින් පිවිසුමක් පවතිනවා. මෙමගින් නිශ්චිත දිනයේදී නිශ්චිත කාලසීමාව තුළ ප‍්‍රමුඛ මට්ටමේ පවතින ඇප්ස් මොනවාදැයි දැකගැනීමට හැකියි. සුළු ඉහළ පහළ යාමක් තිබුණත් පසුගිය සති 52 ක කාලසීමාව ගතහොත් මෙරට තුළ අංක එකේ ස්ථානයේ රැඳී සිට තිබෙන්නේ Viber ය.

    9. Viber හා Viber ස්ටිකර් සම්බන්ධයෙන් පවතින අනාගත සැලසුම් මොනවාද ?
    ඇත්තටම, මෙරට තුළ Viber භාවිත කරන පිරිස තවදුරටත් වැඩිකරගැනීමට අපට අවශ්‍ය වී තිබෙනවා. මේ වෙනුවෙන් අපි කොළඹින් පිටට ගිහිං සුවිශේෂී හවුල්කාරීත්වයන් ඇතිකරගැනීමට අවශ්‍ය පියවර මේ වනවිට අරගෙන තිබෙනවා. දේශීයත්වය මුසුවුණු අන්තර්ගතයන් ඔස්සේ හා මෙරට ක‍්‍රියාත්මක වන සමාගම් සමග ඇතිකරගන්නා හවුල්කාරීත්වය ඔස්සේ ඉදිරියට ගමන් කිරීම අප අරමුණයි. මෙහිදී විශේෂයෙන්ම, පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනයේ නිරත සමාගම්, බැංකු හා විදුලි සන්දේශ ක්ෂේත්‍රයට සම්බන්ධ සමාගම් සමග හවුල්කාරීත්වය ඇතිකර ගැනීමට කටයුතු කරනවා.