• Ada Derana BIZ Sinhala
  • Amendment
  • Committee
  • Inland Revenue
  • Public Finance
  • sri lanka

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අවධානයට

December, 1, 2022

පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නියමිත දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට අනුව අපනයන බදු වැඩිකිරීම සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නියෝග කළේය.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත, රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී පසුගිය (28) දා සලකා බැලූ අවස්ථාවේදී කමිටු සභාපතිවරයා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.

දැනට පවතින අපනයන භාණ්ඩ සදහා අයකරන 14% ක බද්ද 30% දක්වා වැඩි කිරීමේදී එමගින් අපේක්ෂිත ආදායම කොපමණද යන්න එක් එක් අංශවලට අදාළ ව වෙන වෙනම දක්වන ලෙස ද කාරක සභාව මුදල් අමාත්‍යාංශයට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එසේම මීට පෙර පැවැති බදු ප්‍රතිශතයන් යටතේ ඒ ඒ අපනයන අංශ යටතේ ලබා ගත් ආදායම කොපමණද යන්න පිළිබදවද සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මෙහිදී කමිටු සභාපතිවරයා දැනුම් දුන්නේය.

අපනයන බදු ඉහළ නංවා රජයේ ආදායම වැඩි කර ගැනීම සදහා කෙටි කාලීනව දරන උත්සහය වෙනුවට දුර දිග බලා ක්‍රියා කළ යුතු බවත්, මෙරටට ඩොලර් රැගෙන එන අපනයනකරුවන් අධෛර්මත් නොවන ලෙස අපනයන බදු අය කර ගැනීම සිදු කළ යුතු බවත් කමිටුව පෙන්වා දුන්නේය. එබැවින් මෙම අපනයන බදු ප්‍රතිශත පහත හෙළීම පිළිබදව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී හෝ සළකා බැලීම කළයුතු බව ද කමිටු සභාපතිවරයා මෙහිදී පැවසීය.

එසේම යෝජිත පුද්ගල ආදායම් බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් කලාපීය අනෙකුත් රටවල පවතින තත්ත්වයන් සමග සංසන්දනාත්මකව වි‍ශ්ලේශනයක් ඉදිරිපත් කරන ලෙස කමිටුව නිලධාරීන්ට දැනුම් දුන්නේය.

මේ අනුව උක්ත නි‍ර්දේශවලට යටත්ව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

කැසිනෝ නියාමනයට අදාළ වෙනම ආයතනයක් නොතිබීම සම්බන්ධවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මේ වන විට කැසිනෝ ව්‍යාපාරය සදහා අවශ්‍ය නෛතික විධිවිධාන සැපයීමට 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත පැවතියද අදාළ ආදායම් අයකරගැනීම ඇතුළු නියාමන කටයුතු සදහා එය ප්‍රමාණවත් නොවන බවත් ඒ අනුව නෛතික සංශෝධන මගින් වෙනම නියාමන අධිකාරියක් පිහිටවිය යුතු බවත් කමිටුව පෙන්වා දුන්නේය. මේ අනුව මේ සම්බන්ධයෙන් පෙර දැනුම්දුන් පරිදි ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙසද මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට කමිටුව දැනුම් දුන්නේය.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සුරේන් රාඝවන්, සීතා අරඹේපොල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, එම්. ඒ සුමන්තිරන්, චන්දිම වීරක්කොඩි, මයන්ත දිසානායක, මධුර විතානගේ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.