November, 25, 2022
ඉන්වෙන්ටිව් ඔටෝමොබයිල් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් DYNO Scooby 125 EFi ස්කූටරය පසුගියදා මෙරට වෙළෙද පොළට හදුන්වා දුන්නේය. DYNO Scooby 125 ස්කූටරයට දේශීයව නිෂ්පාදනය කරන ලද උපාංග 14ක් එක් කර ඇති අතර කර්මාන්ත අමාත්‍යංශය විසින් මෝටර් රථ කර්මාන්තකරුවන්ට හදුන්වාදුන් නව සම්මත මෙහෙයුම් පටිපාටිය යටතේ මෙම ස්කූටරය මෙරටදීම එකලස් කර තිබීම එහි විශේෂත්වය ලෙස හැදින්විය හැකිය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමාගමේ අධ්‍යක්ෂ ලෙස්ටර් කැරන් මහතා මෙසේ පැවසුවේය.
“DYNO Scooby 125 ස්කූටරයේ සුවිශේෂී කාරණා රැසක් තිබෙනවා. එහි 125cc EFi එන්ජිම හේතුවෙන් ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි දියුණු වන අතර යාන්ත්‍රිකව ක්‍රියාත්මක වන ABS ඩිස්ක් බ්‍රේක් පද්ධතිය මගින් ආරක්ෂාව තහවුරු කරනවා. තවද එහි රෝද අතර වැඩි දුර ප්‍රමාණය හේතුවෙන් ධාවනයේ දී ස්කූටරයේ ස්ථායිතාවය වැඩි වනවා. කික් ස්ටාර්ට් වගේම ඉලෙක්ට්‍රික් ස්ටාර්ට් පහසුකම් මෙම ස්කූටරයේ තිබෙන අතර මුළු පුවලටම වඩාත් සුදුසු වාහනයක් ලෙස මෙය හැදින්විය හැකියි. ඒ වගේම ඩිජිටල් මීටරය, භාණ්ඩ ඇසිරීමට වැඩි ඉඩක්, පොළොව සමග ඇති වඩාත් ප්‍රශස්ත උස වැනි නවීනතම විශේෂාංග රැසකින් සමන්විත වන DYNO Scooby 125 ස්කූටරයේ ආකර්ශණීය හදුන්වාදීමේ මිල සහ දිවයින පුරා විහිදුණු අලෙවි සහ අලෙවියෙන් පසු සේවා ජාලය හේතුවෙන් ඒ සදහා පාරිභෝගිකයා වියදම් කරන මුදලට හොදම වටිනාකමක් ලැබෙනවා.”
DYNO Scooby 125 ස්කූටරය ඩයිනෝ ඉනෝවේෂන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් නිෂ්පාදනය කරනු ලබන අතර අලෙවිය සහ බෙදා හැරීම සිදු කරනු ලබන්නේ ඉන්වෙන්ටිව් ඔටෝමොබයිල් (ප්‍රයිවට්) ලිමිටඩ් විසිනි. මෙම ස්කූටරයේ ඉදිරිපස සහ පසුපස මඩ්ගාඩ්, පසුපස මඩ කවරය, සයිඩ් කවර දෙක මෙන්ම ආසනය ඇතුළු උපාංග 06ක් නිෂ්පාදනය කරනු ලබන්නේ සමාගමටම අයත් ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේදීය. මෙහිදී මෙම කොටස්වල උසස් තත්ත්වය සහ කල්පැවැත්ම තවදුරටත් ඉහළ නැංවීම සදහා විවිධ වැඩිදියුණු කිරීම් සිදු කරන බව ඔවුහු පවසති. තවද මෙම ස්කූටරයේ හැන්ඩ්ල් බාර්, පැති ස්ටෑන්ඩ්, ප්‍රධාන ස්ටෑන්ඩ්, සියලුම සීට් බ්‍රැකට්ස් සහ අසව්, මඩ කවරයේ බ්‍රැකට් සහ ග්‍රැබ් හැඩලය ශ්‍රී ලාංකික සැපයුම්කරුවන් විසින් මෙරටදීම නිෂ්පාදනය කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ පළමු වරට ස්කූටරයක සම්පූර්ණ ආසනයම (සීට් බේස්, සීට් අසව්ව, බ්‍රැකට්ස්, සීට් කුෂන්, රබර් බම්පර්ස්, බීඩිම සහ සීට් කවරය) මෙරටදීම නිෂ්පාදනය කෙරෙන අතර මෙම උපාංග ඇතුළත් කර අංග සම්පූර්ණ DYNO ස්කූටරය සුදුසුකම්ලත් තාක්ෂණ ශිල්පීන් විසින් පන්නිපිටිය මාකුඹුරේ පිහිටි එකලස් කිරීමේ පහසුකමේදී නිෂ්පාදනය කෙරේ. DYNO ස්කූටරයට නොමිලේ ලබාදෙන පූර්ණ සේවා 02 ක් සහ වසර දෙකක හෝ කිලෝ මීටර් 30,000ක වහකීමක්ද හිමිවේ.
ඉහළ ක්‍රියාකාරිත්වයෙන් සහ වඩාත් ඉහළ කාර්ය සාධනයකින් යුතු විද්‍යුත් ස්කූරයක්ද ඇතුළුව ස්කූටර් මාදිළි රැසක් මෙරට වෙළෙද පොළට ඉතා ඉක්මනින් හදුන්වාදීමට සමාගම සැළසුම් කර ඇත.
“ශ්‍රී ලාංකික සමාගමක් ලෙස වාහනයේ 60%ක පමණ කොටසක් මෙරටදීම නිපදවීම අපේ ඉලක්කය වනවා. දේශීයව අගය එකතු කිරීමේ මොඩලය සමග වෙළෙද පොළට ප්‍රවිශ්ට වීමේ අවස්ථාව අපගේ එම ඉලක්කය සපුරා ගැනීමේ පළමු පියවර ලෙස හදුන්වන්නට පුළුවන්,” යැයි කැරන් මහතා වැඩිදුරටත් පැවසුවේය.

Video Story