August, 16, 2023
දේශීය ඇසුරුම් නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයට පිළියම් යෙදීම සඳහා ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය අපනයන සංවර්ධන මණ්ඩලය තුල ස්ථීරව ස්ථාපිත කිරීම සිදුවිය. ඒ යටතේ ස්ථිර ඇසුරුම් ප්‍රදර්ශන ඒකකය විවෘත කිරීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඒ. ආර්. දේශප්‍රිය මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ මහතා, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මාලිනී බද්දේගම මහත්මිය, ජාතික ඇසුරුම් මධ්‍යස්ථානයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් 2023 අගෝස්තු මස 15 වන දින ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පරිශ්‍රයේදී සිදුවිය.
ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් යටතේ, දේශීය ඇසුරුම් නිෂ්පාදන මගින් අපනයන භාණ්ඩ සඳහා අගය එකතු කිරීම සහ පසු අස්වනු හානි අවම කිරීම සඳහා ඇසුරුම්කරණය ප්‍රමුඛතාවයක් ලෙස හඳුනාගෙන ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය තුළ ස්ථිර ඇසුරුම් ප්‍රදර්ශන ඒකකයක් අපනයන සංවර්ධන මණ්ඩලය පරිශ්‍රයේ පිහිටුවීමට රජය තීරණය කරන ලදි. ශ්‍රී ලංකා රජය එහි අතුරු අයවැය 2022 (අයවැය යෝජනා අංක 32) යටතේ අපනයන සංවර්ධන මණ්ඩලයෙහි, ජාතික ඇසුරුම් මධ්‍යස්ථානයේ ප්‍රවර්ධනය සහ සංවර්ධනය උදෙසා ජාත්‍යන්තර වෙළඳපොළට සරිලන සේ දේශීය ඇසුරුම්කරණ අමුද්‍රව්‍ය සංවර්ධනය කිරීම සඳහා ඇසුරුම්කරණ සැලසුම් නැවත සක්‍රීය කළ යුතු බව හඳුනාගෙන ඇත. දේශීය ඇසුරුම්කරණ විසඳුම් උපයෝගී කර ගනිමින් අපනයන නිෂ්පාදනවල වටිනාකම ඉහළ නැංවීම සහ පසු අස්වනු පාඩු අවම කිරීම මෙහි අරමුණයි.
වර්තමානයේ මෙරට ඇසුරුම්කරණය සාම්ප්‍රදායිකව නොවැළැක්විය පරිමාණයේ පිරිවැය සාධකයක් ලෙස සැලකේ. දේශීය හා අපනයන වෙළඳාමේදී නිෂ්පාදනය, අලෙවිකරණය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාකාරී අවධානයක් යොමු වූයේ මඳ වශයෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇසුරුම් සැලසුම් කිරීම සහ සංවර්ධනය කිරීම කෙරෙහි අඩු අවධානයක් යොමුව පැවතිණි. අමුද්‍රව්‍යවල අධික මිල සහ නිමි ඇසුරුම්වල ප්‍රමාණවත් ගුණාත්මකභාවය, අඩු ඵලදායිතාව, පසු භාවිත ඇසුරුම් අපද්‍රව්‍ය උත්පාදනය සහ ඇසුරුම් ආශ්‍රිත ඇතැම් පාරිසරික ගැටලු කර්මාන්තයේ තරගකාරිත්වයට බලපෑමක් එල්ල කරයි. එසේ ම ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අපනයනවලින් වැඩි ප්‍රමාණයක් අගය එකතු නොකළ මට්ටමක පවතී.
කෘෂිකාර්මික නිෂ්පාදනවල පසු අස්වනු හානිය ගොවිපොළේ සිට පාරිභෝගිකයින් දක්වා ගමන් කරයි. ප්‍රමාණවත් ඇසුරුම් නොමැතිකම පසු අස්වනු හානිවලට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත. ප්‍රවර්ධන ඇසුරුම් සැලසුම් සැලසුම් කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා ක්‍රියාත්මක වන පුද්ගලික සහ රාජ්‍ය ආයතන ගණනාවක් තිබියදීත්, වඩාත් පරිසර හිතකාමී විය හැකි දේශීය ඇසුරුම් ද්‍රව්‍ය භාවිතයෙන් සුදුසු ඇසුරුම් පද්ධති සංවර්ධනය කිරීම පිළිබඳ පර්යේෂණ ප්‍රායෝගිකව සිදු නොවේ. එමෙන් ම ස්වාධීන තෙවන පාර්ශ්වයේ ඇසුරුම් කාර්ය සාධන සහතික කිරීමේ අධිකාරියක් නොමැතිකම දේශීයව සාදන ලද බොහෝ ඇසුරුම් ආකෘතිවල විශ්වසනීයත්ය පළුදුවීමට හේතු වී ඇත.
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් අතර උපායමාර්ගික සහයෝගීතාවයක් ඇති කර ගැනීමේ මෙම ජාතික මැදිහත්වීම ශ්‍රී ලංකාවේ ඇසුරුම් කර්මාන්තය දියුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා සහාය වනු ඇත.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය (Ministry of Investment Promotion), කර්මාන්ත අමාත්‍යාංශය (Ministry of Industries), ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (Sri Lanka Standards Institution-SLSI), ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (National Engineering Research and Development Centre), ලංකා කොරිගේටඩ් පුද්ගලික සමාගම (Lanka Corrugated Carton Manufactures Association), ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනය (Sri Lanka Institute of Packaging), කාර්මික තාක්ෂණ ආයතනය (Industrial Technology Institute), ජාතික ශිල්ප සභාව (National Craft Council), මොරටුව විශ්වවිද්‍යාලය (University of Moratuwa), පසු අස්වනු කළමනාකරණ ජාතික ආයතනය (National Institute of Post-Harvest Management), ජාතික මෝස්තර මධ්‍යස්ථානය (National Design Centre), කාර්මික සංවර්ධන මණ්ඩලය (Industrial Development Board), ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (Sri Lanka Institute of Nanotechnology), තල් සංවර්ධන මණ්ඩලය (Palmyra Development Board), සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (Export Development Board) ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (National Packaging Centre) තුළ සහයෝගයෙන් කටයුතු කරයි..
අපනයනකරුවන්, ඇසුරුම් කර්මාන්තයේ නියැලෙන්නන්, නිෂ්පාදකයින්, නිර්මාණකරුවන්, විභව ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, කාන්තා ව්‍යවසායකයින්, මේ ආශ්‍රිත වෙනත් රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල සහ පාසල් ශිෂ්‍යයන්, පර්යේෂණ සහ සංවර්ධන ආයතන, සැපයුම් සේවා සපයන්නන් යන සියලුම පාර්ශ්වකරුවන්ගේ ප්‍රයෝජනය උදෙසා ඇසුරුම්කරණ සංවර්ධන විෂයට අදාළ ව්‍යාපෘති සඳහා ජාතික කේන්ද්‍රස්ථානය ලෙස, ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) ක්‍රියා කරයි.
ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය මඟින් ලබාදෙන සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත දුරකථන අංක සහ ඊමේල් ලිපිනය භාවිත කළ හැකිය. 011 2303975, 071 8246762 - ඉන්දික සුගතදාස මහතා (සහකාර අධ්‍යක්ෂ - ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය), 077 7215911 – හෙල්මලී විතාරණ (සහකාර අධ්‍යක්ෂ - ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය), විද්‍යුත් ලිපිනය npc@edb.gov.lk


Video Story