April, 28, 2026
මෙරට උත්සව කළමනාකරණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා උත්සව කළමනාකරණ සංගමය (EMA) විසින් පසුගිය දා කොළඹ දී 'ශ්‍රී ලංකා උත්සව දින දර්ශනය' නිල වශයෙන් දියත් කරන ලදී. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශය ඔස්සේ, උත්සව කළමනාකරණ උපදේශක කමිටුව විසින් නිර්මාණය කරන ලද මෙම දින දර්ශනය මධ්‍යගත ඩිජිටල් වේදිකාවක් වේ. මෙම දින දර්ශනය විවිධ සංස්කෘතික උත්සව, ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව සහ ඉහළ පෙළේ ආයතනික මට්ටමේ (MICE) සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන ඇතුළු මෙරට පැවැත්වෙන සියලුම ප්‍රමුඛ පෙළේ දේශීය හා විදේශීය වැඩසටහන් පිළිබඳ නිල මගපෙන්වන්නා ලෙස ක්‍රියාත්මක වනු ඇත.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරිය වන තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. උත්සව කළමනාකරණ ක්ෂේත්‍රය හරහා මෙරට ආර්ථිකය කෙරෙහි පිරිනමන සුවිශේෂී දායකයත්වය පිළිබඳ රජය විසින් දක්වනු ලබන ඉහළ පිළිගැනීම ඔවුන්ගේ මෙම පැමිණීම ඔස්සේ මැනවින් තහවුරු විය.
මෙම ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් EMA සංගමයේ සභාපති සාලිය වීරසේකර මහතා මෙසේ ප්‍රකාශ කළේය."එකම පවුලක් ලෙස, වසර ගණනාවක් පුරා විවිධ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින්, අනාගතය යළි අර්ථකථනය කරන සුවිශේෂී වැඩසටහන් ද්විත්වයක් දියත් කිරීමට ලැබීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා." ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් සංස්කෘතිය ලොවට විදහා දක්වන 'ශ්‍රී ලංකා උත්සව දින දර්ශනය' මෙන්ම අධ්‍යයන ක්ෂේත්‍රය සහ ප්‍රායෝගික වෘත්තීය අත්දැකීම් අතර පරතරය අවම කරන 'ජාත්‍යන්තර උත්සව කළමනාකරණය සහ අලෙවිකරණ අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමා' පාඨමාලාව ද ඔහු මෙහි දී හඳුන්වා දෙන ලදී.
මෙම සැන්දෑව කලාත්මක නිර්මාණ රැසකින් ද විචිත්‍රවත් විය. චන්න විජේවර්ධනගේ නර්ථන වින්‍යාසයන්ගෙන් සහ රකිත් වික්‍රමරත්නගේ සුමිහිරි සංගීතයෙන් නිර්මාණය වූ මහනුවර ඇසළ පෙරහැර තේමා කරගත් විශේෂ නර්තනයක් මෙහිදී චන්න-උපුලි රංගන පදනම සහ නාද්‍රෝ (Naadro) කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලදී. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය මැනවින් පිළිබිඹු කළ නාද්‍රෝ කණ්ඩායමේ සාම්ප්‍රදායික තම්මැට්ටම් වාදනය ද මෙම සුවිශේෂී අවස්ථාවට මනා රසවින්දනයක් එකතු කළේය.

Video Story