නව්‍ය ඩිජිටල් ජීවන රටා හරහා ශ්‍රී ලංකාව මෙහෙය වීමට  eChannelling පෙරමුණ ගනී

    May, 22, 2023

    • පසුගිය වසරට සාපේක්ෂව 15%ක මූල්‍ය වර්ධනයක්
    • සමස්ත වත්කම් 20% කින් සහ ශුද්ධ ලාභය රු. මිලියන 65 දක්වා වර්ධනය වේ

    ශ්‍රී ලංකාවේ විශාලතම චැනලින් (channelling) සහ ඩිජිටල් ජීවන රටා සේවා සම්පාදක මෙන්ම SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක්වන eChannelling PLC, 2022 වසරේදී සුවිශේෂී මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී ඇත. ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ජීවන රටාවක් වෙත පරිවර්තනය කිරීම සඳහා වන අඛණ්ඩ ගමනේ ශක්තිමත් පදනම හේතුවෙන් මෙම ඉහළ කාර්ය සාධනය වාර්තා කිරීමට හැකිව තිබේ.

    eChannelling යනු විද්‍යාව, තාක්ෂණය හා කුසලතා එක්තැන් කරමින්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම සහ ඩිජිටල් ජීවන රටා සේවා ක්ෂේත්‍රය තුළධනාත්මක බලපෑමක් ඇති කිරීම අරමුණු කරගත් සමාගමකි. එම උත්සාහය සාර්ථක වී ඇති බවට මෙම මූල්‍ය ප්‍රතිඵල සාක්ෂි දරයි. සමාගමේ ආදායම පැහැදිලි ලෙසම වර්ධනය වී ඇති අතර, සිය ඉදිරි ගමනට වැදගත්වන ක්‍රමෝපායික හවුල්කාරීත්වයන් කිහිපයකට එළඹීමටද eChannelling සමත් වී ඇත.

    2022 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ වර්ෂය තුළ සාර්ව ආර්ථික අභියෝග ජයගනිමින්, රු. මිලියන 221.5 ක සමස්ත ආදායමක් වාර්තා කිරීමට eChannelling සමත් වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 15% ක වර්ධනයකි. තිරසාර, ලාභදායී ව්‍යාපාරයක් බව  තහවුරු කරමින් සමාගමේ ශුද්ධ ලාභය, රු. මිලියන  65.5ක් ලෙස පෙර වසරට සාපේක්ෂව 23% කින් වර්ධනය වී තිබේ.

    එමෙන්ම පෙර වර්ෂයේ අදාළ කාලසීමාව තුළ රු. මිලියන 464 ක් වූ සමාගමේ සමස්ත වත්කම්හි  වටිනාකම, මෙම විශ්ලේෂණයට අදාළ වර්ෂය තුළ 20% කින් වර්ධනය වී රු. මිලියන 555 ක් ලෙස වාර්තා වී ඇත. වෙළඳපොළේ පැවති අභියෝග හමුවේ මෙහෙයුම් ලාභය පෙර වසරේ වාර්තා වූ රු. මිලියන 55.9 ට සාපේක්ෂව රු. මිලියන 44.5 දක්වා පහළ ගොස් ඇති අතර, උද්ධමන පීඩනය සහ ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් විකුණුම් හා බෙදාහැරීම් වියදම් 39% කින් සහ පරිපාලන වියදම් 32% කින් ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

    සිය සමස්ත  උපායමාර්ගයට සමගාමීව, කෙටිකාලීන ආයෝජනවල 13.8% ක වර්ධනයක් සහ පොලී ආදායම්වල වර්ධනයක් වාර්තා කරගැනීමට eChannelling සමත් වී ඇති අතර, එය සමාගමේ ලාභදායීත්වයට සහ මූල්‍යමය ස්ථාවරත්වයට යහපත් ලෙස බලපාන සාධකයකි. තවද පශ්චාත් COVID-19 අවදියේදී ඩිජිටල් ජීවන රටා සේවා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා eChannelling තම සේවා විවිධාංගීකරණය කර ඇති අතර, එය නවීන ඩිජිටල් තාක්ෂණයන් භාවිතයෙන් රාජ්‍ය-පෞද්ගලික ආයතන පරිවර්තනයකට ලක්කළ හැක්කේ කෙසේද යන්නට මනා උදාහරණයකි.

    අරමුණ විවිධාංගීකරණය කරමින් හා යළි ස්ථානගත කරමින්  ශ්‍රී ලාංකිකයන්ට වැඩි පහසුවක් සැලසීමේ අරමුණින්, 2022 වසරේදී eChannelling විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එක් වී, ලිපිලේඛන තහවුරු කරගැනීම සඳහා ඩිජිටල් ක්‍රමයට වේලා වෙන්කරවා ගැනීමේ සේවාවක් හඳුන්වා දෙන ලදි. මෙම පුරෝගාමී හා කාලෝචිත විසඳුම, ශ්‍රී ලාංකිකයන්ට තම කාලය ඉතිරි කරගනිමින් වඩාත් කාර්යක්ෂම ලෙස තම අවශ්‍යතාව ඉටුකරගැනීමට ලැබෙන අගනා අවස්ථාවකි.  මීට අමතරව ඩිජිටල් තාක්ෂණය සම්බන්ධව එහි හැකියාව ප්‍රදරනය කරමින්, ‘One Touch Tele Channelling’ ක්‍රමයට මෙරට මෙන්ම ලොව ඕනෑම රටක වෙසෙන රෝගියෙකුට වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන සේවාවක් ආරම්භ කිරීමටද eChannelling කටයුතු කළේ ය. රෝගීන්ට අවශ්‍ය පරිදි සැලසුම් කර ලබාගත හැකි මෙම සේවාව, ඔවුන්ගේ ජීවන රටාව තවදුරටත් වැඩිදියුණු කිරීමට මහෝපකාරී වෙයි.

    දශක දෙකක ඉතිහාසයක් සහිත eChannelling මේ වනවිට මෙරට ජනප්‍රියම ඩිජිටල් සෞඛ්‍ය හා ජීවන රටා සේවාවක් බවට පත් වී තිබේ. නවීන තාක්ෂණයන් භාවිතයට ගැනීම සහ ක්‍රමෝපායික වශයෙන් වැදගත් හවුල්කාරීත්වයන්ට එළඹීම මෙන්ම, මෑතකදී ඩිජිටල් ජීවන රටා සේවා එකතුවක් හඳුන්වා දීම මෙම සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. මේ සියල්ල ඔස්සේ පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සලසන අතර ක්ෂේත්‍රයට නව ආදර්ශ රැසක් සැපයීමට eChannelling සමත් වී තිබේ.

    ඡායාරූපය - SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා