January, 6, 2021
කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ කළමනාකරණය හා මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද (06) දින පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
ගරු කථානායකතුමනි,
2005 වර්ෂයේ සිට 2015 වසර දක්වා මා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ බහාලුම් ලක්ෂ 72 ක් පමණ ක්‍රියාත්මක කළ හැකි බහාලුම් අංගන තුනකින් සමන්විත කොළඹ දකුණු වරාය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.
මෙම ව්‍යාපෘතියේ සැලැස්මට අනුව පළමු බහාලුම් මෙහෙයුම් අංගනය CICT විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරමින් රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස වසර 35 ක කාලයක් සඳහා ගිවිසුම් ගතව මෙහෙයුම් සිදුකරනු ලැබේ.
ඉතිරි බහාලුම් මෙහෙයුම් අංගන දෙක නැගෙන හිර බහාලුම් අංගනයේ ECT සහ බටහිර බහාලුම් අංගනයේ WCT කඩිනමින් ක්‍රියාත්මක තත්ත්වයට පත්කිරීම සඳහා වර්තමාන රජය විසින් යම් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනු ලබනවා.
ගරු කථානායකතුමනි,
කොළඹ වරාය අප රටේ සංවර්ධනය සඳහා ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක් බව අප කවුරුත් දන්නා කරුණකි. පැවති යහපාලන රජය විසින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධව පහත සඳහන් පාර්ශවයන් සමඟ ගිවිසුම්වලට එළඹී ඇත.
2018 04 26 වෙනි දිනැති ගිවිසුම, වරාය හා නාවික අමාත්‍යාංශය සම්බන්ධ කර නොගෙන එවකට පැවති සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය විසින් ඉන්දියන් රජය සමඟ ඇතිකර ගත් ගිවිසුම.
2019 05 28 දිනැති ගිවිසුම, ශ්‍රී ලංකා රජය, ඉන්දියන් රජය සහ ජපන් රජය එකඟතාවයෙන් යුතුව ඇති කර ගත් ගිවිසුම.
එම ගිවිසුම් දෙකෙහි පිටපත් ඇමණුම් 01 ලෙස සභාගත කරමි.
ගරු කථානායකතුමනි,
ජයබහාලුම් පර්යන්තය අදියර 5 කින් ව්‍යාපෘතිය ප්‍රමාද වීම හේතුවෙන් එම ව්‍යාපෘතිය සඳහා සම්පාදනය කරන ලද නැවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදුකරන දොඹකර තුන නිකරුණේ තබා නොගෙන නැගෙනහිර බහාලුම් අංගනයේ සැලසුම්ගත මෙහෙයුම් කිරීමට අවශ්‍ය ප්‍රමාණයේ දොඹකර නොවූවත් කොළඹ වරාය දැනට මුහුණ පා ඇති නාවික තදබදයෙන් මුදවා ගැනීම සඳහා අප රජය විසින් ඒවා නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සවිකොට මෙහෙයුම් ආරම්භ කරන ලදී.
අප රජය විසින් මෙම නැගෙනහිර ජැටියේ කළමනාකරණය හා මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට තීරණය කර නොමැත.
Video Story