නෙස්ලේ ලංකා සමාගමෙන් රු. බිලියන 2ක ආයෝජනයක්

    November, 24, 2022

    ශ්‍රී ලංකාව වෙත පිරිනමන අඛණ්ඩ කැපවීම තවදුරටත් තහවුරු කරමින්, නෙස්ලේ නෙස්ටමෝල්ට් සහ මයිලෝ නිෂ්පාදන ධාරිතාව නැංවීමට නෙස්ලේ ලංකා සමාගම කුරුණෑගල පිහිටි සිය කර්මාන්තශාලාව සඳහා නව ආයෝජනයක් සිදුකරයි

    නෙස්ලේ ලංකා සමාගම රුපියල් බිලියන 2ක ආයෝජනයක් සමඟින් කුරුණෑගල පිහිටි සිය කර්මාන්තශාලා පරිශ්‍රයට නවතම Vacuum Band Dryer යන්ත්‍රයක් එක්කිරීමට පියවර ගෙන තිබේ. එමඟින් මෝල්ට් ආහාර නිෂ්පාදනය කෙරෙන ඒකකයේ ධාරිතාව තවදුරටත් වර්ධනය වන අතර, ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලාංකිකයින්ට තවදුරටත් ධනාත්මක බලපෑමක් සිදුකිරීමට ද සමාගමට හැකියාව ලැබේ.

    වර්ෂ 1984 දී මෙහෙයුම් ආරම්භ කරන ලද කුරුණෑගල පිහිටි නෙස්ලේ ලංකා කර්මාන්තශාලාව මගින් අද මෙරට අලෙවි කරනු ලබන නෙස්ලේ නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් නිපදවනු ලබයි. ඒ දැඩි ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් අනුගමනය කරමිනි. ‘යහපත් ආහාර, යහපත් ජීවිතය‘ (Good food, Good life) යන තේමාව පෙරදැරි කොටගත් නෙස්ලේ ලංකා සමාගම, වසර 115කට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකික ජීවිතවලට බද්ධ වී ඇත. එමෙන්ම, 25,000කට වැඩි ශ්‍රී ලාංකික කිරි ගොවීන්ට, පොල් ගොවීන්ට සහ ගෙවතු වගාකරුවන්ට ජීවනෝපාය සවිකර දෙන නෙස්ලේ ලංකා සමාගම, 800කට අධික ඍජු රැකියා ප්‍රමාණයක් ද සපයා දෙයි. ඉකුත් වසර පහ තුළ සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලද මුළු මුදල රුපියල් බිලියන 6.6 ඉක්මවයි.

    මෙරට ආහාරපාන නිෂ්පාදන ක්ෂේත්‍රයට මුල්වරට හඳුන්වා දෙන මෙම Vacuum Band Dryer යන්ත්‍රය ස්විස් නිපැයුමකි. තව ද, යකඩ සහ විටමින් ඩී* වලින් සරු කර ඇති නෙස්ලේ නෙස්ටමෝල්ට් මෙන්ම නෙස්ලේ මයිලෝ නිෂ්පාදන ධාරිතාව නැංවීමට ද එය හේතුවනු ඇත.

    නව යන්ත්‍රය ස්ථාපිත කිරීමේ මූලාරම්භය සනිටුහන් කිරීම සඳහා නෙස්ලේ ලංකා සමාගම පියවර ගත් අතර, ඒ වෙනුවෙන් 2022 නොවැම්බර් 23දා කුරුණෑගල කර්මාන්තශාලා පරිශ්‍රයේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විස් තානාපති ඩොමිනික් ෆර්ග්ලර්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් රේණුකා වීරකෝන් යන මහත්ම මහත්මීහු ද, නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා සහ අනෙකුත් නිලධාරීහු ද සහභාගී වූහ.

    ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේ, හුදෙක් නිෂ්පාදන ධාරිතාව නැංවීමට අමතරව ජනතාවගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමට ද අයෝජන මගින් ඇතිවන ආර්ථික සමෘද්ධියට හැකියාව ඇති බව ය. “එම නිසා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක් රුපියල් බිලියන 2කට අධික වටිනාකමකින් යුත් ආයෝජනයක්  සිදුකරන මෙවන් අවස්ථාවකට අද දින සහභාගී වීමට ලැබීම මට ගෞරවයක්. වර්තමාන ආර්ථික වර්ධනයට විදේශ විනිමය යනු අත්‍යවශ්‍ය සාධකයක්. එවන් පසුබිමක මෙම ආයෝජනය තුළින් සමාගමේ අපනයන ධාරිතාව නැංවීමට හැකිවීම ගැනත් මට විශාල සතුටක් තිබෙනවා″, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

    ″වසර 115කට වැඩි කාලයක් පුරා මෙරටට බද්ධ වූ සමාගමක් වශයෙන් නෙස්ලේ ලංකා සමාගම ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව අරමුණු පෙරදැරි කරගත් ආයෝජන සිදුකොට තිබෙනවා. ශ්‍රී ලංකාවේ විභවය පිළිබඳ නෙස්ලේ ලංකා සමාගම සතු විශ්වාසය සතුටට කාරණයක්. ඉදිරි වසර කිහිපය තුළ මෙම ආයෝජනයේ යහපත් ප්‍රතිලාභ අපගේ ප්‍රජාව සහ ආර්ථිකයට ලැබෙනු ඇතැයි මා අපේක්ෂා කරනවා″, යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා කීවේ ය.

    ″අපි මේ වනවිට කෙටි කාලීන මෙන්ම දිගුකාලීන වශයෙන් දැඩි ආර්ථික දුෂ්කරතාවකට මුහුණ දී සිටිනවා. එවන් මොහොතක, නෙස්ලේ ලංකා සමාගම ශ්‍රී ලංකාව තුළ සිය ආයෝජන ශක්තිමත් කිරීම තුළින් රටේ ශක්‍යතාව පිළිබඳ ධනාත්මක පණිවුඩයක් ලබාදෙමින් අනාගත ආයෝජනත් දිරිමත් කෙරෙනවා″, යනුවෙන් ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් රේණුකා වීරකෝන් මෙනෙවිය පැවසුවා ය.

    සිය අදහස් දක්වමින් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා, ″ශ්‍රී ලංකාව තුළ සිටින අප සියලු දෙනාට මෙය දුෂ්කර කාලසීමාවක් වුවත්, ශ්‍රී ලංකාව සතු ශක්තිය, විභවතාව මෙන්ම එහි අනාගතය පිළිබඳ අපට දැඩි විශ්වාසයක් පවතිනවා.  ශ්‍රී ලංකාව වෙනුවෙන් අපගේ කැපවීම යළිත් සනාථ කරන අතරේ, අපගේ නිෂ්පාදන වෙත තවදුරටත් ආයෝජනය සිදුකිරීමට අපි පියවර ගන්නවා. ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ගේ විවිධ වූ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් උසස්  මට්ටමේ ස්විස් තාක්ෂණය මෙරටට ගෙන ඒමත් එහි එක් පියවරක්. නෙස්ලේ ලංකා සමාගම වෙනුවෙන් මෙම ආයෝජනය ප්‍රකාශයට පත් කිරීමත්, අපගේ මෝල්ට් ආහාර නිෂ්පාදන අංශය ව්‍යාප්ත කිරීමට හැකිවීමත් මට විශාල අභිමානයක්. අපගේ දැවැන්තම සන්නාම දෙකක්වන නෙස්ලේ නෙස්ටමෝල්ට් සහ නෙස්ලේ මයිලෝ නිෂ්පාදන ධාරිතාව නැංවීම තුළින් අපි පාරිභෝගිකයින්ට මෙන්ම, ප්‍රජාවටත් ධනාත්මක බලපෑමක් සපයනවා. මෙම ආයෝජනය හරහා අප දැනට නිෂ්පාදන අපනයනය කරනු ලබන රටවල් 50ට අමතරව තවත් විදෙස් වෙළෙඳපොළවල් කරා ප්‍රවිශ්ට වීමටත්, එමගින් විදෙස් විනිමය ඉපැයුම් වර්ධනය කරගැනීමටත් අපි අපේක්ෂා කරනවා″, යනුවෙන් ප්‍රකාශ කළේ ය.

    ‘වර්තමාන මෙන්ම අනාගත පරපුරටත් ජීවිතයේ ගුණාත්මකබව වර්ධනය කරගැනීම සඳහා ආහාර සතු ශක්තිය මුදාහැරීමේ‘ අරමුණ සමඟ ක්‍රියා කරන නෙස්ලේ සමාගම, ඉහළ ගුණාත්මකබවින් යුතු සිය ආහාර සහ පාන වර්ග නිෂ්පාදන පෙළ හරහා මුල් ළමාවියේ සිට වැඩිහිටි විය දක්වා පුළුල් පරාසයක පාරිභෝගිකයින්ට සමීප වී ඇත.