නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් වෙතින් MyFees.lk ඔස්සේ පහසු ගෙවීම් ක්‍රම

    September, 21, 2021

    නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් සහ MyFees.lk විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තබන ලදි. මෙම හවුල්කාරීත්වය යටතේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන්ට දිවයිනේ අධ්‍යාපන ආයතන රැසක පාඨමාලා සඳහා පහසු ගෙවීමේ ක්‍රම යටතේ ගෙවීම් කිරීමේ අවස්ථාව හිමි වේ. මාස 12 ක් දක්වා මෙම පහසු ගෙවීමේ ක්‍රම ලබාගත හැකි අතර, සෑම ගනුදෙනුවකදීම නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් ප්ලැටිනම් සහ ගෝල්ඩ් කාඩ්පත් හිමියන්ට 3x සාමාජිකත්ව ප්‍රතිලාභද හිමිවනු ඇත. මෙම විශේෂ හවුල්කාරීත්වය, තම කාඩ්පත් හිමියන්ට සුරක්ෂිත ලෙස ගෙවීම් සිදුකිරීමට වැඩි වැඩියෙන් අවස්ථාවන් ලබාදීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් දරන උත්සාහයේ තවත් ප්‍රතිඵලයකි. මෙම දීමනාව 2021 නොවැම්බර් 30 දින දක්වා වලංගු වේ.

    මේ සම්බන්ධයෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කාඩ්පත් සහ පාරිභෝගික වත්කම් සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපති නිලූක ගුණතිලක මහතා මෙසේ අදහස් දැක්වී ය. “නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කවදත් ප්‍රමුඛතම අවධානයක් යොමුකරන්නේ ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සැලසීමටයි. MyFees.lk වැනි සුවිශේෂී සේවාවන් සමග අත්වැල් බැඳගැනීම ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන්ගේ පහසුව මෙන්ම ආරක්ෂාවත් තහවුරු කිරීමට අපට අවස්ථාව ලැබෙනවා. දෙමාපියන්ට දැන් තම නිවෙස් වල සිටම තම දරුවන්ගේ පාසල්, විශ්ව විද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ගාස්තු පියවීමට පුළුවන්. එමෙන්ම ගනුදෙනුකරුවන්ට මූල්‍යමය සහන ලබාදීමට අප දරන උත්සාහය වඩාත් තහවුරු කරමින්, මෙම හවුල්කාරීත්වය යටතේ ගාස්තු ගෙවීම සඳහා මාස 12 ක සහන කාලයක් ලබාදීමටත් අපට හැකි වී තිබෙනවා. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් යනු, ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය කටයුතු මැනැවින් සැලසුම් කර ගනිමින් වියදම් කළමනාකරණය කරගැනීමට බෙහෙවින් උපකාරී වන විසඳුමක්. මේ ඔස්සේ ඔවුන්ට ප්‍රතිලාභ රාශියක් හිමිවන බව පැහැදිලියි.”

    Convenienza Solutions විසින් MyFees.lk හඳුන්වා දෙන ලද්දේ රැකියා වල නියුතු පුද්ගලයන්ට බැංකු ශාඛා හෝ අධ්‍යාපන ආයතන වෙත යාමෙන් තොරව ඉතාමත් පහසුවෙන් අධ්‍යාපනික ගාස්තු ගෙවීම සඳහා ක්‍රමවේදයක් ලබාදීමේ අරමුණිනි. එමෙන්ම මෙමගින් සාමාන්‍ය පරිදි ගෙවීම් පිරිසැකසුම් කටයුතු සිදුකිරීම අවශ්‍ය නොවන නිසා, අධ්‍යාපන ආයතන වලටද MyFees.lk සේවාව ඉමහත් පහසුවක් වී ඇත.

    MyFees.lk හි ප්‍රධාන විධායක නිලධාරී ෆරීක් ෆායිස් මහතා මේ සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් පළකළේ ය. “පාරිභෝගිකයන්ගේ සැබෑ අවශ්‍යතාවක් සපුරාලීම සඳහා ආරම්භ කරන ලද සේවාවක් වශයෙන්,   නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හරහා ලැබෙන ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ගෙවීම් විසඳුමක් වන ඇමරිකන් එක්ස්ප්‍රස් සමග මෙලෙස අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. මේ වනවිට MyFees.lk රටේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රමුඛතම මුදල් ගෙවීම් සේවාවක් ලෙස පිළිගැනීමට ලක්වී තිබෙනවා. මෙම හවුල්කාරීත්වය යටතේ, වඩාත් පහසුවෙන් භාවිතා කළ හැකි ඩිජිටල් මුහුණතක් (interface) මගින් සුරක්ෂිත ලෙස ගෙවීම් කිරීමට හැකි වීම ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන්ට විශාල පහසුවක් වනු ඇති බවට සැකයක් නැහැ. එමෙන්ම මෙම ගෙවීම් ඉතාමත් ඉක්මනින් අදාළ අධ්‍යාපන ආයතන වෙත බැර වන අතර, එම ආයතන වලට ඉතාමත් පහසුවෙන් එම ගෙවීම් තහවුරු කරගැනීමට හැකියාව තිබෙනවා.”

    ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන්ට හට www.amex.myfees.lk වෙබ් අඩවිය වෙත පිවිසීම හරහා පහසු සහ ක්ෂණික ගෙවීම් සිදු කිරීමේ පහසුව හදුන්වා දී තිබේ. MyFees.lk සහ ඒ හා අදාළ ආයතන සමග ඇතිකරගත් හවුල්කාරීත්වයන් පිළිබඳ වැඩිදුර තොරතුරු www.americanexpress.lk/en/offers/education-offers හි දක්වා ඇත. ඊට අමතරව iOS සහ Android මෙහෙයුම් පද්ධති සඳහා භාවිතා කළ හැකි Nations Mobile Banking app හරහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කාඩ්පත් සම්බන්ධ දීමනා ඇතුළු අනෙකුත් නවතම තොරතුරු එසැණින් දැනගත හැකි වේ.

    Business Today සඟරාව මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 15 අතරට නම් කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන තිරසාර මුල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වාදී ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් ද විශාල ප්‍රසාදයක් දිනා සිටී. දිගුකළ බැංකු කාලය ආදී පාරිභෝගික කේන්ද්‍රී බැංකු සේවා රැසක් පළමු වරට හඳුන්වා දීමට ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මුල්විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi හඳුන්වාදෙන ලද්දේ ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි. එමෙන්ම තම කාඩ්පත් හිමියන්ට විශිෂ්ට වටිනාකමක්, සේවාවක් හා සබඳතාවක් නිර්මාණය කරදෙමින් ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලය ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ. මේ වනවිට දිවයින පුරා නේෂන්ස් ට්‍රස්ට් බැංකු ශාඛා 96ක්  විවෘත කර ඇති අතර, ATM යන්ත්‍ර 127ක් ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේ වනවිට බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත්‍ර 48ක් ද ස්ථාපිත කර ඇති අතර, Lanka Pay ජාලය ඔස්සේ තවත් ATM යන්ත්‍ර 3,700කට අධික සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වී සිටී.