පසුගිය රජය සමයේ මුළු ආර්ථිකයම විනාශ වුණේ අවිචාරවත් බදු දඩයමක් කරපු නිසා – බන්දුල

    December, 6, 2018

    පළතුරු හා සිසිල් බීම සඳහා බලපාන කිසිදු බද්දක් ඉවත් කර නොමැති බවත්, දේශීය කර්මාන්ත වැසීයාම හා ගොවිජනතාව අතරමං වන ආකාරයෙන් බදු පැනවීම තාර්කීකරණය කිරීම පමණක්, සීනි බද්ද ඉවත් කිරීම තුළින් සිදුකර ඇති බව බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ලිහිල් කරනු ලැබූ සීනි බද්ද හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට බලපෑමක් වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය විසින් කර තිබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්, ඊයේ පැවති මාධ්‍ය හමුවක දී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ කියා සිටියේය.

    “ලෝකයේ අනෙකුත් රටවලුත්, බදු අය කිරීමේ දී රජයක් ඒ බද්ද අයකරන්නේ හුදෙක් රජයට ආදායම් ලබා ගැනීමේ පරමාර්ථයෙන් පමණක් නෙමෙයි. ඒ බද්ද නිසා රටේ නිමැවුමට ඇති වන බලපෑම,  පුද්ගලයන්ගේ ආදායමට ඇතිවන බලපෑම,  මිල මට්ටම කෙරෙහි ඇතිවන බලපෑම, ගෙවුම් ශේෂය කෙරෙහි ඇතිවන බලපෑම,  ඉතුරුම් ආයෝජනය කෙරෙහි ඇතිවන බලපෑම යනාදී වශයෙන් යම්කිසි බද්දක් රජය පැනවීම නිසා සාර්ව ආර්ථික විචල්‍යයන්ට ඇතිවන බලපෑම පිළිබඳ සැලකිලිමත් වෙමින් තමයි වඩා තාර්කික මුදල් අමාත්‍යවරු බදු පනවන්නේ.“

    “නමුත් පසුගිය රජය සමයේ මුළු ආර්ථිකයම විනාශ වුණේ අවිචාරවත් බදු දඩයමක් කරපු නිසා.“

    “හදිසියේ එකවරම සීනි බද්ද පැනෙව්වේ, ස්වජාතිකයන් වනසලා විජාතිකයන් සනසන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන්“, යැයි ඔහු වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.