පාපන්දු ප්‍රවර්ධනයට නාමල්ගෙන් ‘Football Friday‘

    February, 9, 2021

    ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සංඛ්‍යාව මිලියන 2 ක් දක්වා වැඩිකිරීමටත්, ලෝක ශ්‍රේණිගත කිරීම්වල දී දැනට සිටින 206 වෙනි ස්ථානයේ සිට 150 ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ගෙනඒමටත් සැලසුම් සකස් කර තිබෙන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (09) දින පාර්ලිමේන්තුවේ දී මෙරට පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් යොමු කළ ගැටළු කිහිපයකට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මීට අමතරව සතියේ සෑම සිකුරාදා දිනකම පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය වෙනුවෙන් Football Friday නමින් වැඩසටහනක් දියත් කරන බවද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා,

    “ලංකාවේ පාපන්දු ක්‍රීඩා කරන ප්‍රමාණය ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රමාණයට වඩා වැඩියි. ලෝක ශ්‍රේණිගත කිරීම්වල දී අපි ඉන්නේ 206 වෙනි ස්ථානයේ. ලෝකයේ 217 ක් රටවල් පාපන්දු ක්‍රීඩා කරනවා, ඒකේ තරඟකාරී පාපන්දු ගහන්නේ 206 යි. අපි 206 වෙනියා, ආසියාවේ අවසාන තැන.  මේ රටේ ක්‍රීඩාවේ ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ වැඩි අවධානයක් අපි යොමු කරන්න ඕනේ. ඒ එක්කම ට්‍රේනිංවල විශාල ගැටළුවක් තියෙනවා සහ අපේ රටේ අර්ධ වෘත්තීයමය වශයෙන් තියෙන ලීග් එකක්වත් නැහැ.  මේ වසරේ ඉඳන් අපි සෙමි ප්‍රොෆෙසනල් සහ ප්‍රොෆෙසනල් ලීග් එකක් මේ වසරේ දී අපි ආරම්භ කරනවා. “

    “ඒ වගේම ලෝක කුසලානේ තෝරාගැනීමේ තරඟාවලියට අපි සහභාගී වෙනවා.  එය කොරියාවත් සමඟ ක්‍රීඩා කරන තරඟය ලංකාවේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා. පාපන්දු ක්‍රීඩාව දියුණු කළ යුතුයි. ඒ සඳහා දිගුකාලීන සැලැස්මක් සමඟ අප කටයුතු කළ යුතුයි. අවාසනවාවකට ඒ සඳහා අනුග්‍රාහක සහ සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකස් වෙලා නැහැ. හැබැයි ඊළඟ අවුරුදු 5 තුළ ඉලක්ක සහගත වැඩපිළිවෙලකට අපි යනවා.  ඉලක්කයක් තියෙනවා ලංකාවේ පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සංඛ්‍යාව මිලියන 2 ක් දක්වා වැඩි කරන්නත් ලෝක ශ්‍රේණිගත කිරීම්වල අවම වශයෙන් 150 දක්වා එන්නත්.“

    “එහි කෙටිකාලීන වැඩපිළිවෙලක් විදියට තුන්වෙනි පරම්පරාවේ ශ්‍රී ලාංකිකයන් ලෝකේ රටවල ක්‍රීඩා කරනවා. ඒ අයට අපි ආරධනා කරලා තියෙනවා අපේ රටේ ක්‍රීඩා කරන්න අවකාශය ලබා ගන්න එන්න කියලා. ඒ අය මේ වෙන කොටත් යුරෝපයේ සහ වෙනත් රටවල 2,3,4 ලීගයන් හි ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ. මේ ක්‍රීඩකයින් ලංකාවට ආවම අපේ ජාතික කණ්ඩායම ශක්තිමත් වෙනවා වගේම දේශීය ක්‍රීඩකයින්ට අලුත් අත්දැකීම්, පළපුරුද්දක් ලැබෙනවා. ඒ වගේම අපි ආරම්භ කරන සුපර් ලීග් එකට සෙමි ප්‍රොෆෙසනල් විදෙස් ක්‍රීඩකයෝ ලංකාවට එනවා. පුහුණුකරුවෝ ලංකාවට එනවා. දැනටත් නාවික හමුදා ක්‍රීඩා සමාජයට ජපානයේ පළමු පෙළේ පුහුණුකරුවෙක් ලංකාවට ඇවිල්ලා තියෙනවා.“

    “අවසාන වශයෙන් අපි වැඩපිළිවෙලක් පටන් ගන්නවා, ෆුට්බෝල් ෆ්‍රයිඩේ කියලා, හැම සිකුරාදාම පාපන්දු ප්‍රවර්ධනය සඳහා.“