පාවෙන සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක්

    March, 5, 2024

    කොරියානු රජයේ Korea Institute for Advancement of Technology සහ ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර අත්සන් තබා ඇති සාකච්ඡා සටහන අනුව චන්ද්‍රිකා වැව සහ කිරිඉබ්බන් වැව ජලාශවල ධාරිතාව මෙගාවොට් එක බැගින් පාවෙන සූර්ය විදුලි බලාගාර නියමු ව්‍යාපෘති දෙකක් (02) ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
    එකී ව්‍යාපෘති දෙකට අදාළව විදුලි බලාගාර හා සම්ප්‍රේෂණ පොළ ඉදිකිරීම, නඩත්තු ශ්‍රමිකයින් පුහුණු කිරීම සහ සූර්ය පැනල නඩත්තු කිරීම වැනි කටයුතු සඳහා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි චන්ද්‍රිකා වැව ජලාශයේ ජලය මතුපිට සහ සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කිරිඉබ්බන් වැව ජලාශයේ ජලය මතුපිට හෙක්ටයාර 0.99ක් බැගින් වූ කොටස් සහ එම ජලාශ රක්ෂිතයන්ගෙන් හෙක්ටයාර 0.1 බැගින් වූ බිම් කොටස් ලබා දෙන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.
    යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් ජාතික විදුලිබල පද්ධතියට ගිගාවොට් පැය 3ක පමණ වාර්ෂික විදුලි ජනනයක් එක් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
    ඒ අනුව, අදාළ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති දෙක (02) පවත්වාගෙන යාම සඳහා ඉහත සඳහන් ජලාශ මතුපිට කොටස් සහ බිම් කොටස් වාර්ෂික බදු බලපත්‍ර මත ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ලබා දීම පිණිස වාරිමාර්ග අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.