පිටබැද්දර මේධානන්ද විද්‍යාලයට ඇට්ලස් සමාගමෙන් සවියක්

    January, 31, 2023

    රටක අනාගතය වනුයේ එහි දරු පරපුරයි. එමෙන් ම රටේ අනාගතය වෙනුවෙන් කළ හැකි වටිනාම ආයෝජනය වනුයේ ඔවුන් හට මනා අධ්‍යාපනයක් ලබා දීමයි. යුනිසෙෆ් ආයතනයට අනුව මිලියන 4.8 ක් පමණ වූ සමස්ථ ශ්‍රී ලාංකේය පාසල් දරු දැරියන්ගෙන් හරි අඩකට ආසන්න කොටසක් තමන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන්නේ ඉමහත් අසීරුතා මධ්‍යයේ බව වාර්තා වේ. වෙසෙසින්ම වර්තමානයේ අප රට මුහුණපා ඇති ආර්ථික අර්බුදය හේතු කොටගෙන දෙමාපියන් බොහෝ දෙනෙක් තම දරු දැරියන් පාසල් යැවීමට නොහැකි තත්ත්වයක් කෙරේ පැමිණ ඇති බව දකින්නට හැකි අතර රටක් වශයෙන් මෙය ඉතාමත් ම අවාසනාවන්ත තත්ත්වයකි.

    සර්වෝදය පදනම මඟින් ආරම්භ කරන ලද “Light a future” නමින් සමාජ සත්කාර ව්‍යාපෘතිය සමඟින් අධ්‍යාපනය හා බැඳුණු ප්‍රමුඛයෙකු ලෙස කීර්ති නාමයක් දිනා ඇති ඇට්ලස් සමාඟම අත් වැල් බැඳගන්නේ, දරිද්‍රතාවය හේතුකොටගෙන සිය පාසල් අධ්‍යාපනය අභියෝගයක් වූ අපේම දරුවන්ගේ හෙට දින එකලු කිරීම වෙනුවෙනුයි. මේ වෙනුවෙන් මෙවර තෝරාගෙන ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මේධානන්ද කනිෂ්ඨ විද්‍යාලයයි.

    “Light a future” සමාජ සත්කාර ව්‍යාපෘතියට සමගාමීව මෙම විදුහලට අයත්, අයහපත් ආර්ථික තත්ත්වය හේතුකොටගෙන අධ්‍යාපන සිහිනය බොඳ වූ දරු දැරියන් වෙනුවෙන් සම්පූර්ණ 2023 අධ්‍යයන වසර සඳහා අවැසි වන ඉගෙනුම් මෙවලම් බෙදාහැරීමේ වැඩසටහනක් 2022 ක් වූ දෙසැම්බර් 22 වන දින එම පාසල් පරිශ්‍රයෙහිදී පැවැත්විණි. ඇට්ලස් සමාගම Light a Future ව්‍යාපෘතිය සමඟින් එක්ව  සිදු කරනා ප්‍රථම සද්කාර්යය වීම මෙහි විශේෂත්වයයි. මෙහිදී දරු දැරියන් 300 ක් සඳහා අත්‍යවශ්‍ය  ඉගෙනුම් මෙවලම් ලබා දීමට කටයුතු කර ඇත.

    මෙම සමාජ සත්කාර ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් එම පාසලේ විදුහල්පති H.G. සමන් ප්‍රියංක රෝහණ මහතා මෙසේ පවසන ලදී.

    "අද අප පාසලට සුවිශේෂී දිනයක්. ඇත්තෙන්ම අසීරු ආර්ථික තත්ත්වයක් යටතේ මෙවන් උපකාරයක් අප විසින් අපේක්ෂා කළේ නැහැ. ඇට්ලස් සමාගම, සර්වෝදය සහ මනුසත් දෙරණ නොවන්නට අද දිනය මෙතරම් ප්‍රීතිජනක සහ අලංකාරවත් දිනයක් නොවන්නට තිබුණා. අපගේ පාසලේ ඉගෙනුම ලබන දුවා දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් වෙනුවෙන් උපකාර කිරීමට නන් අයුරින් ඉදිරිපත් වූ සියළුම දෙනාට මම මගේ හද පිරි කෘතඥතාව පිරිනමන්නට මෙය අවස්ථාවක් කරගන්නවා."

    එසේම, දකුණු පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂිකා ශාන්ති සෙනෙවිරත්න මහත්මිය මේ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.

    "අප පළාතේ පාසැල් පිළිබඳව කරන ලද සමීක්ෂණයකට අනුව මෙම පාසැල දක්ෂ සිසුන්ගෙන් සමන්විත මෙන්ම හොඳ නායකත්වයක් පැවතියද, විශාල අඩුපාඩු රැසක් ඇති බව අප දුටුවා. ඒ අනුව අපහට අවශ්‍ය වුණා මෙම පාසලට කෙසේ හෝ උපකාරයක් කිරීමට. ඒ අනුව මා විසින් ඇට්ලස් සමාගම සම්බන්ධ කරගන්නට යෙදුණා. දරුවන්ගේ අධ්‍යාපනය යනු ඉතාමත්ම වැදගත් කරුණක් වන්නේ, රටෙහි අනාගතය වන්නේ ඔවුන් නිසාවෙනුයි. නොඩකවා වසර 8ක් මුළුල්ලෙහි අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රථම ස්ථානය බිහිකර තිබෙන්නේ දකුණු පළාතයි. ඇට්ලස් සමාගම විසින් සිය ලාභාංශ වලින් කොටසක්, පාසල් දරු දැරියන් ලක්ෂයකගේ අධ්‍යාපනය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. මෙම සද්කාර්යය වෙනුවෙන් ඇට්ලස් සමාගමේ කලමණාකරණයටත්, සර්වෝදය සහ මනුසත් දෙරණටත් මම ස්තූතිවන්ත වනවා. එමෙන්ම අපගේ දරු දැරියන්ගේ ඉගෙනුම් කටයුතු සාර්ථක කරගැනීම වෙනුවෙන් අවශ්‍ය ධෛර්යය හා ශක්තියද නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා."

    Light a Future වෙනුවෙන් ඇට්ලස් සමාගම නියෝජනය කරමින් අප වෙත අදහස් දැක්වූ එහි ආයතන සම්බන්ධතා ප්‍රධානී නදීකා ජයසිංහ මහත්මිය පවසා සිටියේ:

    "Light a Future වැඩසටහන මඟින් පාසල් දරු දැරියන් ලක්ෂයකගේ අධ්‍යාපන සිහිනය මල් ඵල ගැන්වීමට අප බලාපොරොත්තු වනවා. සාමාන්‍යයෙන් ලංකාවේ වසරකට 25,000 – 30,000 ත් අතර ප්‍රමාණයක් පමණ වූ දරු දැරියන් පිරිසක්; ආර්ථික අපහසුතා හේතුකොටගෙන තම පාසල් අධ්‍යාපනයට සමු දෙනවා. වත්මන් ආර්ථික තත්ත්වය හේතුකොටගෙන මෙය තවත් ඉහළ ගොස් තිබෙනවා. මෙම අර්බුදකාරී තත්ත්වය හඳුනාගෙන ඇට්ලස් සමාගම, සර්වෝදය සහ මනුසත් දෙරණ අත්වැල් බැඳගන්නේ හෙට දින රටෙහි උරුම කරුවන් වන දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උරදී ඔවුන්ගේ මුවඟට හසරැල්ලක් ගෙනඒම වෙනුවෙනුයි."

    Light a Future වැඩසටහන විසින් 2023 අධ්‍යයන වසර සඳහා අත්‍යවශ්‍ය පාසැල් උපකරණ ප්‍රධානය කිරීම වෙනුවෙන් ලොව සිව් දෙසින් සම්පත් දායකයින් සම්බන්ධ කරගැනීමටද අදහස් කොට තිබේ. මෙම සද්කාර්යය වෙනුවෙන් දායක වීමට කැමැත්තක් දක්වන්නේ නම්  www.lightafuture.com වෙබ් සබැඳිය ඔස්සේ වැඩිදුර විස්තර ලබාගැනීමට හැක.

    මුදල් මත සියළු දෑ තීරණය වන සමාජයක, “සැබෑ වත්කම වනුයේ දැන උගත්කම” යන පණිවුඩය සාක්ෂාත් කරමින් පෞද්ගලික ආයතනයක් වන ඇට්ලස් ආයතනය විසින් අරඹන ලද මෙම අති උතුම් සමාජ සත්කාරය ඉතාමත් ම කාලීන අවශ්‍යතාවයක් සන්තෘප්ත කරනා අතර එය ඉමහත් ප්‍රශංසනීය බව වෙසෙසින්ම සඳහන් කළ යුතුය.