පුර්ණ ආයෝජක විශ්වාසයෙන් යළි පිබිදෙන කොළඹ කොටස් වෙළෙඳපොළ

    June, 15, 2020

    වර්තමාන කොවිඩ් 19 වයිරසයේ  බලපෑම සලකා කොළඹ  කොටස්  වෙළෙඳපොළ සති කිහිපයකට වෙළෙඳපොළ  ගනුදෙනු නතර කළ පසු  ඉකුත්  2020 මැයි 11වන දිනයදා  යළිත් මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී. මෙම සම්මුඛ සාකච්ඡාවේදී කොළඹ  කොටස් හුවමාරුවෙහි සභාපති රේ අබේවර්ධන මහතා කොවිඩ් 19 වසංගතය හමුවේ කොළඹ කොටස් හුවමාරුව විසින් සිදුකරනු ලබන විවිධ ප්‍රයන්තයන් පිළිබදව සවිස්තරාත්මකව අප හමුවේ සාකච්ඡා කළ අතර ඉදිරි වැඩපිළිවෙළ පිළිබදවද කරුණු ඉදිරිපත් කරන ලදී.

    සිවිල් ජීවිතය යථා තත්වයට පත් කිරීමට සහ පුනර්ජීවනය ඇති කිරීමට රජය ගනු ලබන උත්සාහයන්ට සහාය වීමක් වශයෙන් මැයි 11වන දින නැවත වෙළෙඳපොළ විවෘත කළ දිනදා සිට  මෙතෙක් කොළඹ  කොටස්  වෙළෙඳපොළ  ලැබූ  ප්‍රගතිය පිළිබඳව අදහසක් ඉදිරිපත් කළොත්?

    කොටස් වෙළෙඳපොළ   නැවත ආරම්භ කිරීමට පෙර එහි කටයුතු හොදින් සිදු වේ යැයි අප තදින් විශ්වාස කළා. ඊට හේතුව ආකර්ෂණීය මිල ගණන් නිසා ගනුදෙනුකරුවන් එම කොටස් මිලදී ගැනීමට උනන්දුවක් දක්වනු ඇතැයි අපගේ විශ්වාසය වුනා. මැයි 11වන දින වෙළෙඳපොල  පටන් ගත් විගසම එවකට තිබු ඉහළ විකුණුම් පීඩනය හා ඊට අනිසි ලෙස ප්‍රතිචාර දැක්වීම නිසා මිල ගණන්වල සැලකිය යුතු පහත වැටීමක් දින 2ක් තරම් කෙටි කාලයක් පුරා දක්නට ලැබුණා. නමුත් පසුව දිගුකාලීනව ප්‍රතිලාභ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටි ආයෝජකයින්,  අනවශ්‍ය ලෙස කලබල වීමට හේතුවක් නැති බවත් මිලදී ගැනීමට දැන් සුදුසු අවස්ථාවක්  බව වටහා ගත්තා. එමනිසා පෙර සේ වෙළෙඳපොල  නැවත යථාතත්වයට පත් කිරීමට අපට හැකි වුනා. වර්තමානයේදී මෙම කොටස්වලින් සමහරක් 2009 යුද්ධය අවසන් වීමට පෙර දුටු මිල ගණන්වලට සමාන හැසිරීම් රටාවකට  ගනුදෙනු වීම කාගේත් අවධාරණයට යොමු වුනා.  ඒ අනුව ජිවිතකාලය තුළ කොටස් මිලදී ගැනීමට ඇති සුදුසුම අවස්ථාව දැන්  බව  අපගේ  අදහස වුනා.  ඒ හදුනාගැනීමට අනුව වෙළෙඳපොළ  කඩා නොවැටෙන බවට අප මුල සිටම දැන ගෙන සිටියා.

    අනාගත දිගුකාලීන ප්‍රතිලාභ උදෙසා මෙම අවස්ථාව උපරිමයෙන් ප්‍රයොජනයට   ගෙන  කොටස් මිලදී ගැනීම සදහා   නැවත වෙළෙද ගනුදෙනු පටන්ගන්නා තෙක් ආයෝජකයින් බලාපොරෝත්තුවෙන්  බලා සිටින බව අප දුටුවා.එවැනි  අනාගත දිගුකාලීන ආයෝජනය ගැන සිතන බුද්ධිමත්  ආයෝජකයින් අප සතු වීම ගැන අපිට ආඩම්බරයක් . කොටස් මිලදී ගෙන යම් කාලයක් රදවා ගැනීමට සිතන  ආයෝජකයින්ට නිරතුරුව  වෙළෙඳපොලින්  සැබෑ  ප්‍රතිලාභ හිමිකරගැනීමට ඇති අවස්ථා වැඩිය. මේ කාලය තුල ශුද්ධ විදේශීය ගලා යාමක් දක්නට ලැබුණත් අප නිරීක්ෂණය කළ බොහෝ කලාපීය වෙළෙඳපොලවල්වල සහ පුර්ව නැගී එන සහ නැගී එන  වෙළෙඳපොළවල් නැත්නම් frontier සහ emerging markets වල මෙවැනිම  ප්‍රවනතාවයක් දක්නට ලැබුනා. කෙසේ වෙතත් සමහර අය සිතනවා විදේශීය ආයෝජකයින් පමණක් විකුණන බව. ඒක  වැර දි මතයක්. මේ කාලය තුළ විදේශී ය ආයෝජකයින් රුපියල් බිලියන 3.1 ක් වටිනා මිලදී ගැනීම් මගින් පෙන්නුම් කරන්නේ අපගේ කොටස් වල ඇති ආකර්ෂණිය මිල ගණන් කෙරෙහි විදේශී ය ආයෝජකයින් තුළ ඇති පිළිගැනීමයි. වසර ගණනාවක් තිස්සේ අප සැලසුම් කලා විදේශ ආයෝජනයෙහි ප්‍රධාන අංශයක් ලෙස සලකන විදේශයන්හි ජිවත්වන සහ සේවය කරන ශ්‍රී ලාංකිකයන් ආයෝජනයෙහි උනන්දු කරවීම. මේ කාලය තුළ ඔවුන් තුළ ආයෝජනය කිරීමට ඇති  උද්යෝගය  අප දුටුවා.

    දේශි ය වශයෙන්ද පුද්ගලයන්  සැලකිය යුතු  ප්‍රමාණයක් CDS  ගිණුම් ආරම්භ කිරීම සහ ගනුදෙනු කිරීමට පෙළඹවීමක් දක්නට හැක. මැයි 11න්  පසු විවෘත  ක ර  ඇති CDS නැතහොත් මධ්‍යම  තැන් පතු ගිණුම් 800ක් වන අතර එය මේ වසරේ මේ දක්වා විවෘත කර ඇති  සමස්ත ගිණුම්වලින්  19%යි.  මෙවැනි කෙටි කාලයක් තුළ සැලකිය යුතු වර්ධනයක් ලෙස අප දකිනවා.

    S & P ශ්‍රී ලංකා 20 දර්ශකය මැයි 18න් ආරම්භ වූ සතිය තුළ වාර් තා දෙකක් තැබීමට හැකි විය. එනම් ඉතිහාසයේ ඉහළම ප්‍රතිශතයකින් වර් ධනය වූ දිනය ලෙස දෙවතාවක් එම සතිය තුළ වාර් තාවීමයි. තවද සතිය තුළ සියලු කොටස් මිල දර් ශකය 8.12% කින් S & P ශ්‍රී ලංකා 20 දර් ශ කය 15.88% ක කැපී පෙනෙන වර් ධනයක් ළගා කරගැනීමට හැකි වුණා.

    වෙළෙඳපොළ යලි ආරම්භ වූ මැයි 11වනදා සිට මේ දක්වා දෛනික සාමන්‍යය  පිරිවැටුම රුපියල් බිලියන 1.63 වෙනවා. පසුගිය වසරේ මැයි 28වන දිනය වන විට වාර්තා වූ රුපියල් බිලියන 1.2 හා සාපේක්ෂව, එය 35%ක වර් ධනයක්. ඒ අනුව පසුගිය වර් ෂයට සාපේක්ෂව ඉහළ පරිමාවකින් වෙළෙඳපොළ පිරිවැටුමෙහි වර්ධනයක්ද සක්‍රිය ගනුදෙනුවීමක්ද සිදු වූ බව අපට මෙයින් මනාව පැහැදිලි වෙනවා.  තවද මේ කාලය තුළ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයට රුපියල් බිලියන 120.6ක වටිනාකමක් එකතු වීමෙන් කොටස් වෙළෙඳපොළෙහි හි  ප්‍රගතිය සහ අප ගෙන ඇති පියවරයන්  වඩාත් සාධනීය බව පැහැදිළිය.

    තවද පසුගිය දින 13 තුළ දේශී ය ආයෝජකයින්ගේ දායකත්වය 68% වන අතර පසුගිය වර් ෂයේ එම අගය 45%ක ප්‍රතිශතයක් විය. මෙය ඇත්ත වශයෙන්ම  සැළකිය  යුතු වර්ධනයක්. දේශීය ආයෝජකයින් අතර ඇතිව තිබෙන මෙම ප්‍රබෝධය  ඉතා  සුබදායී  අතර මෙම උනන්දුව දිගටම පැවතුණහොත් වෙළෙඳපොළ නැවත වඩාත් ශක්තිමත්  කිරීමේ හැකියාව තිබෙනවා.

     

    ඉදිරියේදී දේශීය වශයෙන් වෙළෙඳපොළ ජනප්‍රිය කරවීමට සහ විදේශීය ආයෝජකයින් සම්බන්ධකරගැනීමට කොළඹ කොටස් හුවමාරුව විසින් ගන්නා ලද පියවරයන් මොනවාද?

    වෙළෙඳපොළ ආරම්භ කළ දිනයදා සිට කොටස් ආයෝජනය ගැන ඉගැනීමට කැමති පිරිස්ද අලුතින් කොටස් වෙළෙඳපොළට සම්බන්ධවීමට කැමති ආයෝජකයින්ගේ  ප්‍රබොධයක්  අප දුටුවා. අප බෙහෙවින්ම මේ ගැන ඉතා සතුටු වෙනවා. මේ රැල්ලෙන් පෙන්නුම් කරන්නේ අපගේ වෙළෙඳපොළෙහි ඇතිවිය හැකි විශාල වර්ධනය සහ ආකර්ෂණීය ප්‍රතිලාභ ලබා දෙන විවිධ ආයෝජන විකල්ප සදහා මහජනතාවගේ ඇති දැඩි රුචිකත්වයයි.

    වෙළෙඳපොළ දේශීයව සහ ජාත්‍යන්තරව ජනප්‍රිය කරවීම සදහා අප දරන ප්‍රයන්තයන්ගෙන් බොහොමයක් සිදුවන්නේ ඍජු අලෙවිකරණය සහ සංවිධාත්මක වැඩසටහන් මගිනි. නමුත් වර්තමානයේ මේ යාන්ත්‍රණය තවදුරටත් අභියෝගයක් වී  ඇති නිසා ඊට විකල්පයක් ලෙස  අන්තර් ජාල සැසි (Online Sessions) සහ අන්තර් ජාලය හරහා වැඩසටහන් (e events) තුලින් වෙළෙඳපොළ පිළිබදව දැනුම්වත්භාවය සිදුකෙරෙන අතර  දැනටමත් එය හොදින් සිදු කරගෙන යනවා. මෙම වැඩසටහන් සදහා ජනතාවගෙන් ලැබෙන ප්‍ර තිචාරද ඉතා යහපත්ය. අනෙක් අතට දේශීය වෙළෙඳපොළ දැනුවත් කිරීමේ පුර්ණකාලීන ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අප කලක් තිස් සේ සැලසුම් කරගෙන සිටිනවා. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මේ අදහසට  උනන්දුවක් දක්වන අතර එම ආයතනයේ සහයෝගයද අපට ලැබෙනවා. වර්තමානයේ මෙන් අනාගතයේදී  වෙළෙඳපොළ ජනතාව අතර ප්‍රබොධමත් කිරීම උදෙසා  සදහා මෙවැනි මුල් පිරිම් වැදගත් වෙනවා. නමුත් මෙවැනි පුළුල් වැඩ සටහන්  සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් සියලුම  පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්‍ය වෙනවා.

    නව ආයෝජකයන් ඇතුළු සමස්ත ආයෝජක ප්‍රජාව අතර වෙළෙඳපොළ ජනප්‍රිය කරවීම සදහා තැරැව්කරුවන්ගේ මග පෙන්වීම්  සහ  ඔවුන්ට පැවරී ඇති කාර්යභාර්ය ඉතා වැදගත් බව මම තරයේ විශ්වාස කරනවා. තැරැව්කාර සමාගම් අපගේ ආයෝජකයින් සමග නිරන්තරයෙන් ගනුදෙනු කරන නිසා මහජනතාව අතර ආයෝජනය ප්‍රචලිත කිරීම සහ ඔවුන්ගේ ආයෝජන සුරක්ෂිත කිරීම සදහා සැමට වඩා වැඩි  කාර්යභාර්යක්  ඔවුන්ට පැවරෙනවා. එම නිසා දැනට වෙළෙඳපොළේ ආකර්ෂණීය මිල ගණන් සහ ආයෝජක ප්‍රබෝධය  ප්‍රයොජනයට  ගෙන වෙළෙඳපොළ හැකි උපරිමයෙන් ප්‍රචලිත කිරීමට උනන්දු කරවන ලෙස තැරැව්කාර  ප්‍රජාවගෙන් මම ඉල්ලා සිටිනවා.  වෙළෙඳපොළ ප්‍රචලිත කිරීම සදහා කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවෙහි  දායකත්වය  හැකි උපරිමයෙන් ලබා දිය හැකි නමුත් අවසානයේදී ආයෝජනයක් සඵල කර ගත හැක්කේ කොටස් තැරැව්කාර හරහා පමණි. අතීතයේදී සිදුවූවාක් මෙන් ඉදිරියටත් වෙළෙඳපොළ ජනතාව අතර ගෙන යාමට තැරැව්කාර ප්‍රජාවට සහාය  දීමට කොළඹ  කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව සුදානම් බව මට  විශ්වාසයි.

    ශ්‍රී ලංකා  ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබදව විශ්වාසය ගොඩ නැගීමේ සන්නිවේදනය ක්‍රමයක් ලෙස අන්තර්ජාලයෙන් සිදුකරනු ලබන සැසි හරහා ශ්‍රී ලංකා කොටස් විදේශ වෙළෙඳපොළ වල්වල ප්‍රවර්ධනය කිරීමට බලාපොරෝත්තු වෙනවා. විදේශීය ආයෝජකයින් සමස්ත සාර්ව ආර්ථීකය පිළිබදව අවධානය යොමු කරන නිසා මෙවැනි වැඩසටහන් මෙවර පැවත්වීමට නියමිත  පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව පැවත්වීම  වඩාත් උච්ත බවයි මට හැගෙන්නේ. එනම් මැතිවරණයකින් පසු ගොඩනැගෙන ශක්තිමත් සහ ස්ථාවර රජයකින් රජයේ සමාජ ආර්ථීක ප්‍රතිපත්ති පිළිබදව නිසි මග පෙන්වීමක් සහ මනා අවබෝධයක්  ලබා ගත හැකි බැවින් එම කාලය වඩාත් යෝග්‍ය  වෙනවා.

    තවද විදේශීය ආයෝජකයන්  සම්බන්ධ කරගැනීමේදී  ශ්‍රී ලංකාව කොවිඩ් 19 වසංගතය වැළැක්වීම සදහා සෙසු රටවල් වලට සාපේක්ෂව  ශ්‍රී  ලංකාව මනා කළමනාකරණය කළ ඇති බැවින්  අපට එය  ඉතා සාධනීය කරුණක් වෙනවා. එමනිසා විදේශීය ආයෝජන ප්‍රතිපත්ති හොදින් සිතා බලා මනාව සැලසුම් කිරීමෙන්   නිසැකවම ශ්‍රී ලංකාව තුල ආයෝජනය කිරීම වඩාත් සුබදායී යැයි හැඟෙන පරිදි විදේශීය ආයෝජකයින් අතර සන්නිවේදනය කිරීම වැදගත්.

     

    කොවිඩ් 19 වසංගතයෙන් ඔබ්බට ව්‍යාපාර යථා තත්වයට පත්කරන ක්‍රියාවලිය දිහා බැලූවහම ඉදිරියට අවශ්‍යය වන ප්‍රාග්ධනය රැස්කරගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා දායකත්වයක් ලබා දිය හැක් කේ කෙසේද?

    මෙම ව්‍යාපාර සදහා කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තු ගතවීමෙන් කොටස් නිකුත් කර අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කිරීමට අවස්ථාවක් දැන් වන විටත් පවතිනවා. කොටස් නිකුත් කර ප්‍රාග්ධනය රැස්  කිරීම තුළින්  ආයතනයක මුල්‍ය නම්‍යශීලීභාවය ස්ථාපිත කිරීමට අවශ්‍ය පදනම ලැබෙනවා.  කොවිඩ් 19 පරදා සහ ව්‍යාපාර යථා තත්වයට පත් කරන ක්‍රියාවලියේදී ආයතන ණය බර කළමනාකරණය කරමින් වෙනත් ආකාරයෙන් ආයතනය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය මුදල් රැස් කිරීම යෝග්‍ය බවයි මා කියන්නේ. මෙම කාර්යය කොටස් නිකුත් කිරීම තුළින්  කරන්න පුළුවන්.  මම හිතනවා ආයතන බැංකු ණය නැතුව වෙනත් මාර්ගයක් තුළින්  ප්‍රාග්ධනය රැස් කිරීම සඳහා අවධානය යොමු කරයි කියලා.  මුල්‍යමය වශයෙන් සහ හොඳ ඉදිරි දැක්මක් ඇති සමාගම් කොටස් නිකුත් කරන්නේ නම් කොළඹ කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ දේශීය සහ විදේශීය ආයෝජ්කයන් ගෙන් හොද ප්‍රතිචාරයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙතැන ඉතිහාසය  ගත් කළ කොටස් නිකුත් කර ඇති සෑම සමාගමකටම පාහේ අපගේ ආයෝජන ප්‍රජාවගෙන් හොද ප්‍රතිචාරයක්  ලැබී තිබෙනවා. පෞද්ගලික සමාගම් පමණක් නොව රාජ්‍යය සමාගම් සංවර්ධනය සහ රාජ්‍යය ව්‍යාපෘති සදහා අවශ්‍ය මුදල් රැස් කරගැනීම සදහා කොටස් වෙළෙඳපොළ ද  ප්‍රයෝජනයට ගැනීමටද පුළුවන්. ඊට අදාළ කොටස් හෝ ණයකර නිකුත් කිරීමට අවශ්‍ය පදනම දැනටමත් අප සකසා තිබෙනවා.

    කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගතවීම හැකියාව මහා පරිමාණයේ සමාගම්වලට මෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණයේ සමාගම්වලට තිබෙනවා. අපගේ ලැයිස්තු ගත පුවරු වන ප්‍රධාන, දිරිසවි සහ එම්පවර් පුවරු තුළින් කොටස් නිකුත් කර ප්‍රාග්ධනය රැස්කිරීමට හැකියාවක් තිබෙනවා. මෙම සමාගම්වලට අවශ්‍ය නම් කොටස් නිකුත් නොකර ණයකර නිකුත් කර මුදල් රැස් කරගැනීමටද පුළුවන්. මේ ආකාරයට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සමාගම් අප හා සම්බන්ධ වී ඇති අතර ඉදිරියටත් අප ලැයිස්තුගත වීමේ ක්‍රියාවලියේ තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් අපගේ නියාමන ආයතන වන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව හා සාකච්ඡා කරමින් පවතිනවා.  ලැයිස්තුගත ක්‍රියාවලිය තවදුරටත්  වර්ධනය කිරීම තුළින් ස්ටාර්ට් අප ව්‍යාපාර (startup), තාක්ෂණ සමාගම් වැනි නුතන ස්වභාවයේ සහ නව ප්‍රවණතා හා සම්බන්ධ සමාගම් ද කොටස් වෙළෙඳපොළ සම්බන්ධ කරගැනීමට අප බලාපොරෝත්තු වෙනවා.

     

    අවසන් වශයෙන් 2020 වසරෙහි රටෙහි සහ වෙළෙඳපොළෙහි ඉදිරි බලාපොරෝත්තු පිළිබදව ඔබ යමක් කීවහොත්

    මා හිතන්නේ අප සැවෝම ශ්‍රී ලාංකිකයන් වශයෙන් ධනාත්මකව සහ විශ්වාසයෙන් යුතුව සිතන්න ඕන. අප රටක් වශයෙන් බොහෝ බාධක ජයගෙන තිබෙනවා.  ඒ නිසා අප මේ කොවිඩ් කියන අභියෝගයද ධෛර්යවන්තව කටයුතු කරමින් ජයගත යුතුයි. එසේ කළහොත් අපට ඉක්මනින්ම රට නැවත යථා තත්වයට පත් කර ගැනීමට හැකියාව තිබෙනවා. රටෙහි පාලන තන්ත්‍රය  මහ ඡන්දයක් පැවැත්වීමෙන් පසු යම් ස්ථාවරත්වයක් ලැබෙනු ඇති බවට බලාපොරෝත්තු වෙන්න පුළුවන්. මේ සමගම ස්ථාපිත වන ආර්ථීක ප්‍රතිපත්තින්, ඉදිරි දැක්ම, සමස්ත ස්ථාවරත්වය රටෙහි  ආර්ථිකය සහ ආයෝජකයන් දිරිගැන්වීමේ ක්‍රියාවලියට වැදගත්  වෙනවා. එදිනෙදා වැඩ කටයුතු යථාතත්වයට පත්වීමත් සමගද සමාගම්ද  තම මෙහෙයුම් නැවත යථාතත්වයට පත් කරුනු ඇති බවට අප විශ්වාස කරනවා.

    මා පැවසුවා සේ දැන් වන විටත් කොටස් වෙළෙඳපොළෙහි  සමස්ත මිල ගණන් ගත් කළ දීර්ඝකාලීන දැක්මක් ඇතුව කොටස් මිලදී ගැනීමට සුදුසු අවස්ථාවක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ඉදිරියේදී ලැයිස්තුගත සමාගම් ඉදිරිපත් කරන මුල්‍ය ප්‍රකාශන අනුව මේ  පිළිබඳව තවදුරටත් අධ්‍යයනය   කරමින් ආයෝජ්නය කිරීමට අවස්ථාවක් ආයෝජක ප්‍රජාවට තිබෙනවා. අප කොටස් වෙළෙඳපොළ නැවත ක්‍රියාත්මක කිරීමෙන් පසුව දැක ඇති දේශීය ආයෝජකයින්ගේ උද්යෝගය තවදුරටත් මේ වසරේ දැකීමට හැකියාව තිබෙනවා. ඉදිරියේදී රටෙහි ආර් ථිකය ශක්තිමත් වනවාත් සමඟම  කොටස් වෙළෙඳපොළෙහි සමස්ත මිල ගණන් දැන් පෙන්වන ආකාරයෙහි ආයෝජනයට සුදුසු බවක් පෙන්නුවහොත් විදේශ  ආයෝජකයන්ද නැවත වෙළෙඳපොළ කෙරෙහි උනන්දුවක් දැක්වීමේ ප්‍රවණතාවයක් තිබෙන බව මා විශ්වාස කරනවා.