පොලිතීන් බෑග් භාවිතය අඩු කරන්න කාරක සභාවකින් යෝජනාවක්

    April, 2, 2024

    මුදල් කවුන්ටරයෙන් පොලිතීන් බෑග් ලබා නොගන්නා හෝ නැවත භාවිතා කල හැකි බෑගයක් භාණ්ඩ රැගෙන යාමට ගෙන එන පාරිභෝගිකයින්ගේ රු. 500/-ට වැඩි බිල්පත් වටිනාකමට රුපියල් 5ක ඉතිරියක්

    • වසරකට ප්ලාස්ටික් ටොන් 80 පමණ බර, පෑන් මිලියන 120ක් වෙළඳපොලට - කාරක සභාවේදී අනාවරණය වෙයි

    දිවයින පුරා පිහිටි සුපිරි වෙළඳ සැල් හා ඒවායේ වෙළඳ ශාඛාවලින් භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් කවුන්ටරයෙන් පොලිතීන් බෑග් ලබා නොගන්නා හෝ නැවත භාවිතා කල හැකි බෑගයක් භාණ්ඩ රැගෙන යාමට ගෙන එන පාරිභෝගිකයින්ගේ රු.500/-ට වැඩි බිල්පත් සඳහා රුපියල් 5ක මුදලක් අඩු කිරීමට පාර්ලිමේන්තුවේ පැවති පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමට සහභාගී වු එම සුපිරි වෙළඳ සැල් ප්‍රධානීන්ගේ එකඟත්වය හිමිවිය. මෙම රැස්වීම පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (21) වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

    මෙදින කාරක සභාව හමුවට මෙරට ප්‍රමුඛ සුපිරි වෙළඳ සැල් කිහිපයක් වන ආර්පිකෝ සුපර් සෙන්ටර් (Arpico Super Center), කීල්ස් (Keells), කාර්ගිල්ස් ෆූඩ් සිටි (Cargills), ලාෆ් සුපර් (Laugfs Super), හා ස්පා(ර්) (Spar) යන අයතනවල ප්‍රධානීන්, නිමි ඇදුම් වෙළඳ සැල්වල ප්‍රධානීන් සහ පෑන් නිෂ්පාදන ආයතනවල ප්‍රධානින් කැඳවා තිබුණි. ශ්‍රී ලංකාව තුළ සංසරණය වන ප්ලාස්ටික් සහ පොලිතීන් අසුරන වෙළඳපොළට නිකුත් කරන ප්‍රමුඛතම ආයතන වශයෙන් මෙම නියෝජිතයින්ගේ දායකත්වය ප්ලාස්ටික්, පොලිතීන් භාවිතය අවම කිරීම සඳහා ලබා ගැනීම මෙම රැස්වීමේ අරමුණ විය.

    මෙරට තුළ අධික පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය හා ඉන් අනාගතයේදී ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා මෙම වෙළඳ සැල් ප්‍රධානින් දැනුවත් කළේය. ඒ අනුව එම අහිතකර තත්ත්වයන් අවම කරමින් පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය තුරන් කිරීම සඳහා වූ මුලික පියවර කිහිපයකට යොමුවීමට මෙදින කාරක සභාවේදී හැකිවිය.

    පරිසරය ආරක්ෂා කිරීම සඳහා ගනු ලැබූ මෙම විශේෂ තීරණය පිළිබදව සිය පාරිභෝගිකයින් දැනුවත් කිරීමට අවශ්‍ය ප්‍රචාරයන් ලබාදීමට සහ වෙළඳ සැල්වල කාර්ය මණ්ඩලයට ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ දැනුවත් කිරීම ලබා දීමට ද අදාළ වෙළඳ සැල් නිලධාරීන්ගේ එකගත්වය හිමිවිය. එමෙන්ම ඉදිරියේදී තවදුරටත් නැවත භාවිතා කළ හැකි බෑග් ගෙන එන පාරිභෝගිකයින්ට ලබා දෙන සහන මුදල් වැඩි කරමින් පොලිතීන් භාවිතය අවම කිරීම සඳහා තම දායකත්වය අඛණ්ඩව ලබාදීමට එම සුපිරි වෙළඳ සැල් ප්‍රධානීහු සුදානම් බව කාරක සභාව හමුවේ පැවසූහ.

    මේ අතර වසරකට පෑන් මිලියන 120ක් වෙළඳපොලට නිකුත් කරන බව පෑන් නිෂ්පාදනය කරන ආයතන ප්‍රධානීහු කාරක සභාව හමුවේ ප්‍රකාශ කරන ලදී. පෑන්වල බර සැලකු විට මෙම ප්‍රමාණය ප්ලාස්ටික් ටොන් 80ක් පමණ විය හැකි බව කාරක සභාවේදී අනාවරණය විය. එමෙන්ම පෑනක වටිනාකමින් වැඩි කොටස පෑනේ තීන්තවලට සහ පෑන් තුඩ සඳහා වැයවන බැවින් පෑන් බටය නැවත නැවත පාවිච්චි කිරීමට සැලැස්වීම තුළින් පෑනක මිල සැලකිය යුතු ලෙස අඩු නොවන බවත්, මෙරට තුළ පෑන් නිෂ්පාදනය කිරීමට ගනු ලබන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපහසු බවත්, ලංකාව තුළ ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට සමත් ආයතනයක් හෝ නොමැති බවත් වැඩිදුරටත් අනාවරණය විය.

    ලොව අනෙකුත් රටවල් පෑන් ප්‍රතිචක්‍රීකරණය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මගින් පෑන් නිෂ්පාදනයට ඇති හැකියාවන් පිළිබඳ සොයා බලා කාරක සභාවට වාර්තා කරන ලෙස සභාපතිවරයා විසින් අදාළ ආයතන ප්‍රධානීන්ට සහ එදින කාරක සභා රැස්වීමට පැමිණ සිටි තරුණ නියෝජිතයින්ට උපදෙස් ලබා දුන්නේය.

    එසේම, නිමි ඇඳුම් ක්‍ෂේත්‍රය තුළ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව එම වෙළඳ සැල් කිහිපයක ප්‍රධානීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ජා කෙරිණි. ඒ අනුව ඒ සඳහා ගතහැකි වඩාත් ඵලදායී යෝජනා කාරක සභාව වෙත යොමු කරන ලෙසට සභාපතිවරයා විසින් එම ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    සමස්තයක් ලෙස ගත්විට ප්ලාස්ටික් පොලිතීන් භාවිතය අඩු කිරීම පිළිබඳව පාරිභෝගිකයා තුළ මෙන්ම ව්‍යාපාරිකයා තුළ ද ආකල්පමය වෙනසක් ඇති කිරීම කාරක සභාවේ මුලික අරමුණ බව අවධාරණය කරන ලදී.

    මේ අවස්ථාවට කාරක සභාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන තුෂාර ඉඳුනිල් අමරසේන, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ සහභාගී වුහ.