පෝට් සිටියේ දී ලැබෙන විශේෂ වරප්‍රසාද CODEGEN Innovations සමාගමටත්

    March, 26, 2024

    මෘදුකාංග, දත්ත විද්‍යාව, නිර්මාණකරණය සහ දෘඩාංග යන අංශවලින් තාක්ෂණික විසඳුම් ලබා දීමේ විශේෂඥතාවක් දක්වන CodeGen සමූහයේ අංශයක් වශයෙන් CODEGEN INNOVATIONS (PRIVATE) LIMITED ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරනු ලැබ ඇති සමාගමකි.

    එම සමාගම කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විසින් බලයලත් තැනැත්තෙකු වශයෙන් අනුමත කර ඇති අතර, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම සඳහා එකී සමාගම විසින් ඉල්ලුම් කර ඇත.

    එම සමාගම ඇමෙරිකානු ඩොලර් 500,000ක මූලික ආයෝජනයක් සිදු කරමින් වසර 05ක් වන විට ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක් උපයා ගැනීමටත්, එම කාලය ඇතුළත ආසන්න වශයෙන් රැකියා අවස්ථා 400ක් නිර්මාණය කිරීමටත් සැලසුම් කර තිබේ.

    එබැවින්, 2023 අංක 02 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝගවල විධිවිධාන පරිදි එම සමාගම නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් සපුරා තිබේ.

    ඒ අනුව, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන යටතේ CODEGEN INNOVATIONS (PRIVATE) LIMITED වෙත නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීමටත්, ඒ සඳහා වන නියමයක් ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.