පෝට් සිටියේ වැඩ 2027 දී අවසන් කිරීමට ගිවිසුමක්

    May, 25, 2024

    කොළඹ වරාය නගරය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එවකට පැවති මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ CHEC Port City Colombo (Pvt) Ltd. අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට 2016 වර්ෂයේදී අත්සන් තබා ඇත. එකී ගිවිසුම අනුව ව්‍යාපෘතියේ ඉලක්කගත අවසන් කිරීමේ දිනය 2025.06.05 වේ.

    කෙසේ වුව ද, පැවති කොවිඩ් - 19 වසංගතය සහ ව්‍යාපෘති සමාගමේ මූල්‍ය සීමාවන් හා ණය හිමියන් වෙත පවතින බැඳීම් ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට නොහැකි වීම යන හේතූන් මත ව්‍යාපෘතිය නියමිත දිනට අවසන් කිරීමට නොහැකි වන බව පෙනී ගොස් ඇති බැවින්, ව්‍යාපෘතිය අවසන් කිරීමේ කාලසීමාව වසර දෙකක (02) කාලයකින් දීර්ඝ කරන ලෙස ව්‍යාපෘති සමාගම විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

    එම ඉල්ලීම සැලකිල්ලට ගෙන කොළඹ වරාය නගරය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව 2027.06.05 දින දක්වා දීර්ඝ කිරීමටත්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එකී ත්‍රෛපාර්ශ්වික ගිවිසුමේ වත්මන් පාර්ශ්වකරුවන් වන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සහ CHEC Port City Colombo (Pvt) Ltd. සමාගම අතර පරිපූරක ගිවිසුමකට අත්සන් තැබීමටත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.