බදු වැඩි නිසා මිල වැඩියි. සිගරට්, මත්පැන් අලෙවිය අඩුවෙලා – සමාගම් කියයි

    November, 16, 2023

    2023 සැප්තැම්බර් 30 න් අවසන් මාස 03ක කාලපරිච්ඡේදය තුළ දී මෙරට සමස්ත මද්‍යසාර පාන කර්මාන්තයේ පරිමාව 12% කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙරට ලැයිස්තුගත සමාගමක් වන ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී සිය නවතම මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කර සිටී. ඔවුන් පවසන්නේ 2023 වසරේ ජනවාරි සහ ජූලි මාසවල දී මද්‍යසාර පාන සඳහා කළ සංශෝධනවලින් 44%කින් පමණ බදු ඉහළ නංවා ඇති බවයි.

    බදු ඉහළ නැංවීම හමුවේ මත්පැන් මිල ඉහළ යාම මෙලෙස ඒ සඳහා පවතින ඉල්ලුම පහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවත් මේ හේතුවෙන් නීතිවිරෝධී මත්පැන් භාවිතය මේ වන විට කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත් ලයන් බෘෘවරි සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් රජයට අයවිය යුතු විශාල බදු මුදල් ප්‍රමාණයක් අහිමි වී යනු ඇති බවයි.

    2023 සැප්තැම්බර් කාර්තුව තුළ දී ලයන් බෘෘවරි සමාගමේ සමස්ත ආදායම රු. බිලියන 27.35 ක් ලෙසින් සටහන් වන අතර එය 2022 අදාළ කාර්තුවේ ආදායම් අගය වූ රු. බිලියන 25 ට වඩා 9% ක වර්ධනයක් වේ.

    මේ අතර ලංකා දුම්කොළ සමාගම පවසන්නේ එම කාර්තුව තුළ දී සිය සමාගමේ අලෙවි පරිමාව ද පහළ ගොස් ඇති බවයි. රජයේ ආදායම් යෝජනා අනුව බදු ඉහළ නැංවීම් හමුවේ සිගරට් මිල ඉහළ යාම ප්‍රධාන වශයෙන් අලෙවිය පහළ වැටීමට හේතු වී ඇති බව ලංකා දුම්කොළ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. මෙම වාතාවරණය තුළ බීඩි සහ නීතිවිරෝධී දුම්වැටි සඳහා ඉල්ලුම වැඩි වී ඇති බව ලංකා දුම්කොළ සමාගම කියා සිටී.

    ලංකා දුම්කොළ සමාගමේ මූල්‍ය වාර්තා ප්‍රකාරව 2022 සැප්තැම්බර් කාර්තුවේ දී රු. බිලියන 47.12 ක් ලෙසින් සටහන් වී ඇති සමාගමේ විකුණුම් ආදායම 2023 සැප්තැම්බර් කාර්තුවේ දී රු. බිලියන 44.76 ක් දක්වා පහළ ගොස් ඇත.

    මෙරට මත්පැන් කර්මාන්තයේ නිරත තවත් දැවැන්ත සමාගමක් වන ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා හි අලෙවියේ පසුබෑමක් ද සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ දී දැකගත හැකිය.

    2022 සැප්තැම්බර් කාර්තුවේ ඩිස්ටිලරීස් සමාගමේ ආදායම රු. බිලියන 62.43 ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 සැප්තැම්බර් කාර්තුවේ දී රු. බිලියන 57.29 ක් දක්වා අඩු වී තිබේ.