බලාපොරොත්තු පොදි බැඳන් පැමිණි Cairn India මෙරට තෙල් සහ ගෑස් ගවේෂණයෙන් ඉවත්වෙයි

    April, 19, 2015

    මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඇතැයි ඉන්දියානු කෙයාන් සමාගම (Cairn India) විසින් සොයාගත් ස්වභාවික ගෑස් නිධිවල ගවේෂණ කටයුතු වලින් එම සමාගම ඉවත්වීමට යන අතර මෙරට ගෑස් නිධි කැණීමේ කටයුතු සඳහා අළුතෙන් සමාගම් සම්බන්ධ කර ගැනීමට රජයට සිදුවී තිබෙන බව අනාවරණය වේ.

    හෙළිවන ආකාරයට ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් පහළ යාම නිසා සමාගමට එල්ලවී තිබෙන පීඩනය හමුවේ මන්නාමරට ඔබ්බෙන් වූ මුහුදේ තිබෙන ස්වභාවික ගෑස් නිධිවල ගවේෂණ කටයුතු ප්‍රමුඛ කටයුත්තක් නොවන බවට ඉන්දියානු කෙයාන් සමාගම තීරණය කර තිබේ.

    මේ අනුව, සමාගම තීන්දු කර තිබෙන්නේ ඉන්දියාවේ රාජස්තානයේ තිබෙන සමාගමට අයත් තෙල් නිධි වලින් සිදුකරන ඛනිජ තෙල් නිෂ්පාදන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමටයි.

    අනාවරණය වන ආකාරයට ඉන්දියානු කෙයාන් සමාගම විසින් මන්නාමරට ඔබ්බෙන් වූ මුහුදෙන් සොයාගත් ස්වභාවික ගෑස් නිධි වලින් වාණිජ මට්ටමේ නිෂ්පාදන කටයුතු කිරීමේ අදහස මෙරට රජය විසින් අත්හැර දමා නොමැති අතර මෙම නිධි වලින් වාණිජ මට්ටමේ නිෂ්පාදන කටයුතු කිරීමට වෙනත් සමාගම් සම්බන්ධ කර ගැනීමට රජය සාකච්ඡා ආරම්භ කර තිබේ.

    මෙරට ගෑස් සහ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු සඳහා ඉන්දියානු කෙයාන් සමාගම විසින් ආයෝජනය කළ මුදල් නැවත අයකර ගැනීමේ කටයුතු සඳහා සමාගම ක්‍රියා කරන ආකාරය පිළිබඳව තවමත් පැහැදිලි නැත.

    අනාවරණය වන ආකාරයට ඉන්දියානු කෙයාන් සමාගමට අනුබද්ධ කෙයාන් ලංකා (Cairn Lanka) සමාගම විසින් කොළඹ වරායෙන් ලබාගෙන තිබෙන ගබඩාවේ කල්බදු පහසුකම (lease) අළුත් කිරීමට මේ වනවිට කටයුතු කර නොමැති අතර මේ තුළින්ද තහවුරු වන්නේ මෙම සමාගම මෙරට ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් ගවේෂණ කටයුතු වලින් ඉවත්වන බවයි.

    ඉන්දියානු කෙයාන් සමාගම විසින් පසුගිය මාර්තු 05 වනදා නිවේදනය කර තිබුණේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් විශාල ලෙස අඩුවීම නිසා සමාගමේ වියදම් අඩුකිරීමට පියවර ගන්නා බවයි.

    මේ අනුව, සමාගම ලබන ඔක්තෝම්බර් මාසයේ සිට ලංකාවේ තෙල් සහ ස්වභාවික ගෑස් ගවේෂණ කටයුතු වලින් ඉවත්වීමට නියමිත බව වැඩිදුරටත් හෙළිවේ.
    ඉන්දියානු කෙයාන් සමාගම විසින් ලංකාවේ ගෑස් ගවේෂණ කටයුතු ආරම්භ කරන විට එය ස්කොට්ලන්තයේ Cairn Energy plc සමාගමට අයත්ව තිබුණු අතර පසුව එම සමාගම 2010 වසරේදී ඉන්දියාවේ Vedanta Resources සමාගම විසින් මිලදී ගන්නා ලදී. මේ අනුව, ඉන්දියානු කෙයාන් සමාගම මේ වනවිට Vedanta Resources සමාගමට අනුබද්ධ සමාගමක් වේ.

    මන්නාරමට ඔබ්බෙන්වූ මුහ‍ුදේ එක් බිම් කඩක ඛනිජ තෙල් ගවේෂණය සඳහා ලංකාව විසින් ඉන්දීය කෙයාන් සමාගම සමග ගිවිසුමකට එළඹුණේ 2008 වසරේ ජූලි මාසයේදීයි.

    මෙම බිම් කැබැල්ලේ ප්‍රමාණය වර්ග කීලෝ මීටර් 3400 ක් වන අතර එහි මීටර් 200 සිට මීටර් 1800 ක් තරම් ගැඹුරකට සමාගමට ඛනිජ තෙල් ගවේෂණ කටයුතු කළහැකි බව රජය සඳහන් කර තිබුණි.

    ලංක‍ාවේ මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඛනිජ තෙල් ඇතැයි, ටී.ජී.එස්. නෝ(ර්)පෙක් නම් නෝ(ර්)වීජියානු සමාගම විසින් සොයාගත් අතර පසුව රජය විසින් එම බිම, බිම් කැබලි 08 කට බෙදා‍ වෙන් කළේය.

    පසුගිය රජයේදී ජනාධිපතිවරයා යටතේ තිබූ මෙරට තෙල් ගවේෂණ කටයුතුවල වගකීම දරන ඛනිජ සම්පත් සංවර්ධන කාර්යංශය (Petroleum Resources Development Secretariat-PRDS) නව රජය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය යටතට පත්කර තිබේ.

    මේ අනුව, මෙරට ඛනිජ තෙල් ගවේෂණ කටයුතු පිළිබඳ වගකීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක යටතට පත්ව ඇත.