බ්‍රැන්ඩික්ස්, අධ්‍යාපන අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගනිමින් අඛණ්ඩව 6 වන වරටත් ‘රන් දරු තිළිණ’ වැඩසටහන දියත් කරයි

    January, 7, 2022

    නව පාසල් වාරය සඳහා පාසල් බෑග් සහ ලිපිද්‍රව්‍ය බ්‍රැන්ඩික්ස් සාමාජික-සාමාජිකාවන්ගේ දරුවන් 8354 දෙනෙකු අතර බෙදාදෙමින් බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම අඛණ්ඩව 6 වන වරටත් 'රන් දරු තිළිණ' වැඩසටහන දියත් කළේය. අධ්‍යාපන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙවර වැඩසටහන සඳහා අවිස්සාවේල්ල ප්‍රදේශයේ ප්‍රභූන් මෙන්ම බ්‍රැන්ඩික්ස් සමාගමේ නිලධාරීහු රැසක් ද සහභාගී වූහ.

    2016 වසරේදී ආරම්භ වූ 'බ්‍රැන්ඩික්ස් රන් දරු තිළිණ' වැඩසටහන යටතේ මේ වන විට දරුවන් 37,000 කට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිලාභ හිමි වී ඇති අතර, මෙවර සිය 'මනුසත්කාර' සමාජ සත්කාරක වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් එම සමාගම පළමු වරට ප්‍රදේශය අවට දරු-දැරියන් 1,000 ක් සඳහා ද ලිපිද්‍රව්‍ය ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබිණ.

    මෙහිදී අදහස් දක්වමින්, ගරු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසී ය. “හුදෙක් නිදහස් අධ්‍යාපනය තිබූ පමණින් හෝ පාසල් ඉදිකළ පමණින් දරුවෙකුගේ අධ්‍යාපනය සහතික වන්නේ නැහැ. අනාගත අභියෝග භාරගැනීමට සූදානම් නව පරපුරක් නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපනයේ සහ ඉගෙනීමේ පුරුද්ද දිරිමත් කිරීමට, දෙමාපියන් හා ගුරුවරුන් මෙන්ම මුළුමහත් සමාජය වශයෙන් අප සියලු දෙනාම එකතු විය යුතුයි. ඔබ එක්රැස් කරගන්නා දැනුම ඔබේ සාර්ථකත්වයට පදනම වන අතර, එයා සදාකල් ඔබ සමගම පවතිනවා. එම නිසා, දරුවන්ට ලබාදිය හැකි වටිනාම ත්‍යාගය වන්නේ අධ්‍යාපනය සහ ඊට අවශ්‍ය අත්වැල සැපයීමයි. බ්‍රැන්ඩික්ස් සමාගම මෙය හොඳින් අවබෝධ කරගෙන ඇති අතර, මෙම වැඩසටහන මෙන්ම අනෙකුත් අර්ථවත් වැඩසටහන් ඔස්සේ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය වීම සඳහා ආදර්ශමත් ලෙස පෙරමුණ ගැනීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සහ රජය වෙනුවෙන් මා ඔවුන්ට ස්තූතිවන්ත වනවා.”

    බ්‍රැන්ඩික්ස් සමාගමේ 'මනුසත්කාර' සමාජ සත්කාරක අංශය යටතේ දියත් කෙරෙන අධ්‍යාපන අංශයේ සමාජ සත්කාරක වැඩසටහනක් වන 'රන් දරු තිළිණ' වැඩසටහන පසුගිය වසර 6 ක කාලය පුරා පෙර පාසල් මට්ටමේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන බ්‍රැන්ඩික්ස් සාමාජික-සාමාජිකාවන්ගේ දරු-දැරියන්ගේ අධ්‍යාපන ගමනට සවියක් වී තිබේ. 3 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන් හට ප්‍රදානය කෙරුණු පාසල් බෑග් අභ්‍යාස පොත්, සිතුවම් පොත්, පාට පැන්සල් සහ පැන්සල්, කෝදු, ගම් සහ වෙනත් අත්‍යවශ්‍ය ලිපිද්‍රව්‍යවලින් සමන්විත වූ අතර ඉන් පහළ ශ්‍රේණිවල දරුවන්ගේ බෑග ද ක්ලේ, කතුරු සහ පාට කූරු ආදී ලිපිද්‍රව්‍යවලින් සමන්විත විය.

    “අධ්‍යාපනය යනු අපගේ ආයතනික සමාජ සත්කාර ක්‍රමෝපාය තුළ ප්‍රමුඛතම අවධානයක් යොමුවන අංශයක්. සෑම විටම අපගේ සාමාජික සාමාජිකාවන්ගේ යහපත උදෙසා නිසි පියවර ගත යුතු බව අප විශ්වාස කරනවා. රන් දරු තිළිණ වැඩසටහන, අපගේ සාමාජික සාමාජිකාවන්ට සෑම වසරකම ආරම්භයේදී තම දරුවන්ගේ අධ්‍යපනයට අවශ්‍ය පොත්පත් හා පාසල් උපකරණ සඳහා දැරීමට සිදුවන වියදම අවම කරමින් ඔවුන්ට විශාල සහනයක් සලසන වැඩසටහනක්. මෙම වැඩසටහන මීටත් වඩා වැඩි දරුදැරියන් පිරිසක් වෙත ව්‍යාප්ත කිරීම අපගේ ඉලක්කයයි. මෙම වසරේදී, අපගේ අවිස්සාවේල්ල කර්මාන්ත ශාලාව ආසන්නයේ වෙසෙන තෝරාගත් පවුල් වල දරුදැරියන්ද මෙම වැඩසටහනට ඇතුළත් කරගැනීමට අප පියවර ගත්තා. ඉදිරියේදී මෙය අනෙකුත් ප්‍රදේශ වෙතද ව්‍යාප්ත කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” බ්‍රැන්ඩික්ස් සමාගමේ සමාජ සත්කාර ප්‍රධානී මාලිකා සමරවීර මහත්මිය පැවසුවා ය.

    රන් දරු තිළිණ වැඩසටහනට අමතරව, බ්‍රැන්ඩික්ස් කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ දරුවන් අතරින් 5 වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග වලට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ‘රන් දරු ශිෂ්‍යත්ව’ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර, රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ට බාධාවකින් තොරව තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අත්වැලක් වෙමින් රටේ අනාගත විද්වත් ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා ‘රන් දරු අබිසෙස්’ වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

    බ්‍රැන්ඩික්ස් යනු ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමකි. එහි අරමුණ ‘පිබිදුණු මිනිසුන් තුළින් පිබිදුණු විසඳුම් ලබාදීම’ වේ. වසර 50 කට අධික කාලයක් තිස්සේ ලොව සුප්‍රකට වෙළඳ නාම රාශියකට ඇඟලුම් විසඳුම් පිරිනමා ඇති බ්‍රැන්ඩික්ස්, රටවල් 9 ක 60,000 කට අධික පිරිසක් සේවයේ යොදවා ඇත.කලාපයේ වඩාත්ම තිරසාර ඇඟලුම් නිෂ්පාදකයා බවට පත්වීම සඳහා යන ගමනේ සෑම අදියරකදීම, තම මෙහෙයුම් කටයුතු හා හවුල්කරුවන් තුළ සැබෑ වෙනස්කම් වලට මුලපිරීමට බ්‍රැන්ඩික්ස් උත්සාහ දරයි. බ්‍රැන්ඩික්ස් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.brandix.com වෙත පිවිසෙන්න.