බ්‍රැන්ඩික්ස්  සමාගම COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අත්‍යවශ්‍ය වන උපකරණ තොගයක් ප්‍රජාව වෙනුවෙන් පරිත්‍යාග කරයි

    September, 1, 2021

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස්, COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අත්‍යවශ්‍ය වන උපකරණ තොගයක් කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල, මාවනැල්ල මහ රෝහල සහ සීදූව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ‘මනුසත්කාර’ ආයතනික සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ සිදුකරන ලද මෙම පරිත්‍යාගයේදී ‘Non-invasive’ වර්ගයේ වෙන්ටිලේටර් යන්ත්‍ර 12 ක් සහ ඔක්සිජන් සාන්ද්‍රණකරණ යන්ත්‍ර 18 ක් පරිත්‍යාග කරන ලදි.

    කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලට වෙනිලේටර් යන්ත්‍ර පරිත්‍යාග කිරීම සිදුකරන ලද්දේ රඹුක්කන Brandix Essentials කළමනාකාරීත්වය විසිනි. මෙහිදී, ඔක්සිජන් අවශ්‍ය වන COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එම රෝහලේ අධි උපස්ථාන ඒකකයට (HDU) වෙන්ටිලේටර් යන්ත්‍ර 8 ක් පරිත්‍යාග කිරීම සිදු විය. මෙම පරිත්‍යාගය සිදුකළ අවස්ථාවට, සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මැතිතුමන්ද සහභාගී වූ අතර, එම අවස්ථාවේදී එතුමන් විසින් කෑගල්ල දිස්ත්‍රික් රෝහලේ අධි උපස්ථාන ඒකකය (HDU) විවෘත කිරීමද සිදුකරන ලදි. රාජ්‍ය අමාත්‍යතුමන් මෙන්ම  රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මියද, රෝගීන්ගේ යහපත වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් සමාගම සිදුකළ මෙම පරිත්‍යාගය බෙහෙවින් අගය කළහ.

    එමෙන්ම Brandix Essentials රඹුක්කන කර්මාන්තශාලාවේ කළමනාකාරීත්වය විසින් මාවනැල්ල මහ රෝහල වෙත වෙන්ටිලේටර් යන්ත්‍ර 4 ක් පරිත්‍යාග කරන ලද අතර, එම යන්ත්‍ර දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී උදාර ගුණතිලක මහතා  වෙත භාරදෙන ලදි. මෙම යන්ත්‍ර මාවනැල්ල ප්‍රදේශයේ COVID-19 ආසාදනය වන ජනතාවට ප්‍රතිකාර කිරීමට යොදාගැනීමට නියමිත වේ.

    මීට අමතරව, සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ භාවිතය සඳහා ඔක්සිජන් සාන්ද්‍රකරණ යන්ත්‍ර 18 ක් පරිත්‍යාග කරන ලදි. මීට පෙර බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවක් ලෙස ක්‍රියාත්මක වූ මෙම ස්ථානය, පසුව COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාරදීමට බ්‍රැන්ඩික්ස් සමාගම කටයුතු කළේ ය. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ COVID-19 රෝගීන් 1,200 කට පමණ ප්‍රතිකාර කිරීමේ පහසුකම් පවතී.