බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිම කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    May, 9, 2024

    බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් ඇතුළු සෙසු ඉදිකිරීම්වල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යාලයේ ඊයේ (08) පැවති සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට මෙලෙස උපදෙස් ලබා දුන්නේය.

    අදියර තුනක් යටතේ බිංගිරිය කර්මාන්ත කලාපයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ස්ථාපිත කිරීමට නියමිත යටිතල පහසුකම්වල සැලකිය යුතු ප්‍රමාණයක වැඩ කටයුතු දැනටමත් අවසන් කර ඇත.

    ඒ අනුව තවදුරටත් සිදු කෙරෙමින් පවතින වැඩ කටයුතු මෙම වර්ෂය අවසන් වීමට පෙර අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, එළැඹෙන ජුනි මාසයේදී අදාළ වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පැමිණීමට තමා අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එස්. එච්. සමරතුංග, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. නයිමුදීන්, විදුලබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ, ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි යන මහත්වරුන් ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීන් ද එක්ව සිටියහ.