මත්තල ගැන විශ්වාසයෙන් ලංකාව උඩින් යන ගුවන් යානා ප්‍රමාණය ඉහළට

    April, 16, 2015

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා මෙරටට සැලසී තිබෙන වාසි පිළිබඳව නවතම කෝප් වාර්තාව විසින් කරුණු සාකච්ඡා කර තිබේ.

    මෙහිදී, අනාවරණය වී තිබෙන්නේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා ලංකාව තුළ තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් තිබීම හේතුවෙන් මෙරට ගුවන් කළාපයෙන් ගමන් ගන්නා ගුවන් යානා ප්‍රමාණය වර්ධනය වී තිබෙන බවයි.

    A380 වැනි ගුවන් යානයක් පවා හදිසි තත්ත්වයකදී මත්තල ගොඩබෑමට හැකිවීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව සඳහන්ය.

    කෙසේවෙතත්, මෙම කරුණු දැක්වීම තහවුරු කිරීමට හැකි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියට කෝප් කමිටුව විසින් නිර්දේශ කර ඇත.

    මේ අතර, නවතම කෝප් වාර්තාවට අනුව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් 2014 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09 ක කාලය තුළදී මගීන් 16,712 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

    වාර්තාවට අනුව මෙම කාලය තුළදී මෙම ගුවන් තොටුපොළට පැමිණ තිබෙන්නේ මගීන් 13,371 දෙනෙකු පමණි.

    මේ අනුව, මෙම මගීන්ගෙන් දේශීයව සහ විදේශීයව ගමන් කළ මගීන් පිළිබඳව විස්තර වාර්තාවක්ද කෝප් කමිටුව විසින් ඉල්ලා තිබේ.

    2013 වසරේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විසින් මගීන් මිලියන 7.3 ක් හසුරුවා තිබෙන අතර 2014 මුල් මාස 09 තුළදී මගීන් මිලියන 5.8 ක් හසුරුවා ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates