මහවැලි ඉඩම්වල මැණික් ගැරීමට ඉඩ

    September, 26, 2023

    ඇඹිලිපිටිය මහවැලි ඉඩම්වල පශ්චාත් අස්වනු නෙළන කාලය තුළ මැණික් ගැරීමේ කටයුතු සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කොට අවසර ලබාදීම පිළිබඳ  කර්මාන්ත අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

    මේ පිළිබඳ සාකච්ඡා වූයේ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති කර්මාන්ත අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

    ඇඹිලිපිටිය ප්‍රදේශයේ මහවැලි අධිකාරියට අයත් කෘෂිකාර්මික ඉඩම්වල අස්වනු නෙලීමෙන් පසු මැණික් ගල් කැනීම සඳහා මීට පෙර අවසර ලබාදී ඇති නමුත් මේවන විට මහවලි අධිකාරිය එසේ අවසර ලබාදීම අත්හිටුවා ඇති බවත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කමිටුව වෙත අදහස් දක්වමින් පැවසීය.

    එයට අමතරව, මැණික් ගල් කැණීමෙන් ලැබෙන ලාභයේ පංගුව පතල් කැණීම් කටයුතුවල නිරත කම්කරුවන් වෙත නිසි පරිදි නොලැබීම පිළිබඳවද මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි. සේවකයන්ට හිමිවිය යුතු කොටස ලබාදීමට වගබලා ගන්නා ලෙස ද ඇමැතිවරයා මෙහිදී බලධාරීන් වෙත උපදෙස් දුන්නේය.

    කොවිඩ් තත්ත්වය හේතුවෙන් විපතට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ණය ගැටලුව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ලබා ඇති ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන SMILE ණය යෝජනා ක්‍රමය පිළිබඳව  මෙහිදී නිලධාරීන් විසින් දැනුවත් කරන ලදී.

    මීට අමතරව, 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි ද කමිටුව විසින් අනුමත කරන ලදී.

    මෙම රැස්වීමට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, විජිත බේරුගොඩ, පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන (මහාචාර්ය) චරිත හේරත්, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, උදයකාන්ත ගුණතිලක, කුලසිංහම් දිලීපන්, සුමිත් උඩුකුඹුර, ගුණතිලක රාජපක්ෂ, කුමාරසිරි රත්නයක යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.