මහින්දට පුද්ගලික ගුවන් යානයක් ?

    February, 3, 2015

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ පුද්ගලික පරිහරණය සඳහා ගුවන් යානයක් ඇනවුම් කර තිබුණා යැයි මාධ්‍ය මගින් ප්‍රචාරය වුවත් සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඉහළම ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වන්නේ එවැනි වෙනමම ගුවන් යානයක් ඇනවුම් කර නොතිබූ බවයි.

    පසුගිය කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී ගුවන් යානා සමග නොමිලේ ප්‍රභූ පැකේජයක් (VIP Kit) අඩංගු කර තිබෙන්නේ ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමේදී ලබාදෙන වරප්‍රසාදයක් ලෙසයි. වෙනම ගුවන් යානයක් ඇනවුම් කර තිබුණා යැයි සඳහන් කර තිබෙන්නේ මෙම ප්‍රභූ පැකේජයට විය යුතුය. කෙසේවෙතත්, ප්‍රභූ පැකේජයක් යනු ගුවන් යානයක් නොවන අතර එය ගුවන් යානයක ආසන කිහිපයක් ගලවා ගුවන් යානයකට සවිකරන පහසුකම් වලින් පිරි කුටියකි.

    මෙම ප්‍රභූ පැකේජය (VIP Kit) වෙනුවෙන් එයාර්බස් විසින් ඩොලර් මිලියන 15 ක මිලක් දක්වා තිබෙන්නේ ගුවන් යානා ගැනීමේදී නොමිලේ හිමිවන මූල්‍යමය වාසියේ ප්‍රමාණය පෙන්වාදීම සඳහායි. ප්‍රභූ පැකේජය (VIP Kit) ඉවත් කිරීමෙන් මුදල් ලබාගැනීමට නොහැකි අතර කළ හැක්කේ ඒ වෙනුවෙන් එයාර්බස් සමාගම නිපදවන වෙනත් නිෂ්පාදනයක් ඉල්ලා ගැනීම පමණි.

    ගුවන් යානයක් නොවන මෙම ප්‍රභූ පැකේජය පිළිබඳව නව රජයේ අතුරු අයවැය මගින්ද කරුණු දක්වා තිබෙන්නේ මෙසේයි.

    “පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය මෑතකදී සිදුකරන ලද ගුවන් යානා මිලදී ගැනීම් තවත් අනවශ්‍ය නාස්තිකාරී වියදමකි. මෙම ගුවන් යානා සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් (රුපියල් බිලියන 1.95 ක්) වටිනා ප්‍රභූ පැකේජයක් අඩංගු කර ඇති අතර එය නොමිලේ පිරිනමා ඇත. මෙහිදී මතුවන ගැටලුව වන්නේ ප්‍රභූ පැකේජය නොමැතිව මෙම ගුවන් යානාවේ මිල සාකච්ඡා සම්මුති මගින් අඩුකර ගැනීමට කටයුතු නොකිරීමයි.“

    “The recent Air Bus purchases made by the loss making national Air Line brings out another wanton exercise of utter waste where a VIP kit had been attached valued at US$ 15 million offered free of charge. Whereas a question could be asked as to why the cost had not been renegotiated without including luxury equipment or is it another episode under the mega deal category.“

    මෙම පදනම මත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ උසස්ම නිළධාරියෙකුගේ උපදෙස් අනුව මෙම ප්‍රභූ පැකේජය (VIP Kit) ලබාගැනීම නතර කර තිබෙන අතර අප වෙත අනාවරණය වන්නේ මෙහි වටිනාකමට එයාර් බස් විසින් නිපදවන වෙනත් නිෂ්පාදන ලබාගත හැකිදැයි ශ්‍රී ලංකන් සොයා බලමින් සිටින බවයි.

    එයාර්බස් සමාගමේ වෙබ් අඩවියේ සඳහන් වන පරිදිද මෙම ප්‍රභූ පැකේජය (VIP Kit) ගුවන් යානයක් නොවේ. එය ගුවන් යානය ඇතුළත පැය 08 කින් සවිකළ හැකි පහසුකම් වලින් සපිරි වෙනමම කුටියකි.

    මෙම කුටියේ පහසුකම් සහිත ද්විත්ව ආසන 06 ක් පමණ තිබිය හැකිබව එයාර්බස් සඳහන් කර ඇත.

    මෙම ප්‍රභූ පැකේජය (VIP Kit) පිළිබඳව එයාර්බස් වෙබ් අඩවියේ තොරතුරු සඳහන් වන්නේ පහත පරිදියි.airbus