මහ බැංකුවෙන් කොළඹ පාරිභෝගිකයින්ට වැඩි සැලකිල්ලක්

    August, 8, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උද්ධමන ඉලක්ක සඳහා යොදා ගනු ලබන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) බවත් එහිදී ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) වෙත අවධානයක් යොමු නොකරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර මහතා පවසයි.

    2023 වසරේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව ජාතික පාරිභෝගික මිල දර්ශකය සම්බන්ධයෙන් නිවේදන නිකුත් කිරීම අත්හිටුවා ඇති අතර, උද්ධමන පුරෝකථනවල දී මහ බැංකුව වැඩි වැදගත්කමක් දෙනු ලබන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට ද නැතහොත් ජාතික පාරිභෝගික මිල දර්ශකයට ද යනුවෙන්, අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් හරිස්චන්ද්‍ර මහතා මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර මහතා,

    “අපි වැඩියෙන් වැදගත්කමක් දෙන්නේ CCPI එකට. අපේ නිල උද්ධමන ඉලක්ක පදනම් වෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත. NCPI දත්ත ලබා ගැනීමේ දීත් යම් ප්‍රමාදයක් තිබෙනවා. ඒකේ සංයුතිය විශාලයි. අනෙක් කරුණ NCPI එකේ ආහාරවලට තියෙන වියදම වැඩියි.“

    “එක එක රටවල් මුදල් ප්‍රතිපත්තිය සඳහා විවිධ උද්ධමන දර්ශක භාවිත කරනවා. අපි දිගටම ඒ සඳහා යොදා ගත්තේ CCPI.“ 

    ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කිරීමේ දී උද්ධමන ව්‍යාප්ති සටහනක් (Fan Chat) ද ඊට අන්තර්ගත කරනු ලබන අතර එය කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පදනම් වනු ඇත.