මහ බැංකුවෙන් තීරණයක්

    August, 9, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (08) පැවති රැස්වීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2023 අගෝස්තු මස 16 වන දින ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 සිට සියයට 2.00 ක් දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කර ඇත.

    මහ බැංකුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව, බැංකු පද්ධතිය සඳහා ද්‍රවශීලතාව සැපයීම සහ වෙළෙඳපොළ ද්‍රවශීලතා හිඟය ස්ථිර පදනමින් තවදුරටත් අඩුකිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

    ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩුකිරීම මඟින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 200 ක පමණ ද්‍රවශීලතාවක් මුදාහැරීමට අපේක්ෂා කරනු ලබන අතර, එමඟින් වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් පහත හෙළීමටත්, ආර්ථිකයට ගලා යන ණය ප්‍රවාහ ප්‍රසාරණය කිරීමටත් හැකි වනු ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

    ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීමේ වාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ප්‍රමාදයකින් තොරව සිය ගනුදෙනුකරුවන් වෙත් ලබාදීම අපේක්ෂා කරන අතර. මහ බැංකුව විසින් වෙළෙඳපොළ වර්ධනයන් අඛණ්ඩව අධීක්ෂණය කරමින්, අවශ්‍ය වුවහොත් වෙළෙඳපොළ ණය අනුපාතික අඩුවීමේ සීඝ්‍රතාව තහවුරු කිරීම සඳහා සුදුසු නියාමන ක්‍රියාමාර්ග ද ගනු ලබනු ඇත.

    ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (Statutory Reserve Ratio) යනු බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සිය තැන්පතු වගකීම්වලින් කිසියම් ප්‍රතිශතයක් මුදල් තැන්පතුවක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙහි පවත්වාගෙන යා යුතු ප්‍රමාණයයි. මුදල් නීති පනත අනුව බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිශ්චය කරනු ලබන ප්‍රමාණයක සංචිතයක් මහ බැංකුවෙහි පවත්වාගෙන යා යුතු වේ. වර්තමානයේ දී ශ්‍රී ලංකා රුපියල්වලින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල පවත්වා ගනු ලබන ඉල්ලුම්, කාලීන හා ඉතුරුම් තැන්පතු ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවට යටත් වේ.

    මුදල් සැපයුම කෙරෙහි බලපෑම් කිරීම සඳහා අතීතයේ දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය  බහුල වශයෙන් යොදා ගන්නා ලදී. කෙසේ වෙතත්, වෙළඳපොළ පදනම් කරගත් මුදල් ප්‍රතිපත්තියට වැඩි වශයෙන් නැඹුරු වීමත් සමඟ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා කෙරෙහි යොමු වීම ක්‍රමානුකූලව අඩු වී ඇති අතර, එම නිසා ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා පැනවීම හේතුවෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් දැරිය යුතු වක්‍රාකාර පිරිවැය ද අඩු වේ. ඒ අනුව, වෙළඳපොළ තුළ අඛණ්ඩව පවත්නා ද්‍රවශීලතා ගැටලු විසඳීම සඳහා පමණක් වර්තමානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය භාවිතා කරයි. (ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න.)