January, 12, 2026
පසුගිය 2025 වර්ෂය තුළ දී ශ්රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 2,812ක් මිල දී ගෙන ඇති බව වාර්තා වේ.
2025 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී මහ බැංකුව වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති ඩොලර් ප්රමාණය පිළිවෙලින් මිලියන 90.8ක් සහ මිලියන 250.8ක් ලෙසින් ශ්රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව අනාවරණය කරයි.
මේ අතර 2025 නොවැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 16.5ක් සහ දෙසැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 28.3ක් මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කර ඇත.
ඒ අනුව 2025 සමස්ත වර්ෂය තුළ මහ බැංකුව අලෙවි කර ඇති ඩොලර් ප්රමාණය ඩොලර් මිලියන 205.3කි.
මෙම දත්ත වාර්තාවලට අනුව 2025 වර්ෂය තුළ දී ශ්රී ලංකා මහ බැංකුව ශුද්ධ වශයෙන් වෙළෙඳපොළෙන් කර ඇති ඩොලර් මිල දී ගැනීම් ප්රමාණය ඩොලර් මිලියන 2,606.7ක් වේ.
2025 වසර අවසාන වන විට ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,825ක් ලෙසින් වාර්තා වී තිබේ.