September, 12, 2023
වචන කියන්නෙ හරි ප්‍රබල දෙයක්. වචනවලට හැකියාව තියෙනවා මිනිස්සුන්ගේ ජිවිත සුවපත් කරන්න වගේම විපතට ඇදල දාන්නත්. ඒ වගේම තමයි, සමහර වචනවලට පුළුවන් කෙනෙක්ගෙ ඉරණම පවා වෙනස් කරන්න. වචනවල බලයෙන් තමන්ගේ ජීවිතය වෙනස්කරගත් ව්‍යවසායකයෙක් වන ප්‍රසාද් රණතුංග මහතා අපනයනකරුවෙක් වන්නේද ඔහු අපේක්ෂා නොකළ තරම් කෙටි කාලයක් තුළය.
ගම්පහ රදාවාන ප්‍රදේශයේ ජීවත්වන ප්‍රසාද් රණතුංග මහතා අපනයනකරුවෙකු වීමේ මාවතකට අවතීර්ණ වූයේ සිය සන්නාමය වන අගය එකතු කළ සිලෝන් දිඹුල තේ සමඟිනි. ඔහුගේ දෛවය වෙනස් වන්නේ ආකර්ශනීය සරල දේශනයකිනි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රබෝදා රත්නායක මහත්මිය විසින් පවත්වන ලද අපනයන ක්‍රමවේදය සම්බන්ධ දේශනයක් 2022 දෙසැම්බර් මාසයේදී මහජන බැංකුවේ අනුග්‍රහය යටතේ පැවැත්විණි.
ඉන් සය මසකට පසු අපනයනය සඳහා වන සියලු සුදුසුකම් සපුරාගෙන පළමු නිෂ්පාදන තොගය ජපානයට නැව්ගත කරන්නට ප්‍රසාද් රණතුංග මහතාට හැකිවිය. අපනයනකරුවෙක් වීම සම්බන්ධ තමා ලද උත්තේජනය පිළිබඳ ප්‍රසාද් මහතා මෙසේ පැවසීය.
“අපනයනය කරන්න කිසිම ආසාවක් නොතිබුණු මට අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රබෝධා මහත්මිය කළ දේශනයෙන් පස්සෙ අපනයනය කරන්න උනන්දුවක් ඇති වුණා. දේශනෙයෙන් අපිට අපනයන ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද?, ගැනුම්කරුවෙක් හොයාගන්නෙ කොහොමද? වගේ ම අපනයන ක්‍රියාවලිය පිළිබඳවත් බොහොම සරලව පැහැදිලි කිරීමක් කළා. ඉන් පසුසෙ මම ගෙදර ගිහින් අපනයන සංවර්ධන මණ්ඩලයේ ඒ දේශනය කළ මහත්මියට නැවත නැවත කතා කර කර උපදෙස් ගත්තා.... ”
ඔහු සිය උත්සහාය ක්‍රියාවේ යෙදවීම සඳහා කටයතු කළ ආකාරය පිළිබඳ තවදුරටත් මෙසේ පැවසීය.
“මගේ පුතා NSBM කැම්පස් එකේ සැපයුම්දාම කළමනාකරණ (Logistic) විෂය ඉගෙන ගන්නෙ. පුතත් එක්ක මේ ගැන කතා කරල අපි විවිධ දේවල් ගැන කල්පනා කළා. පොල් ආශ්‍රිත නිෂ්පාදන, තේ වගේ දේවල් ගැන හිතුවා. ලංකාවේ විවිධ තැන්වල ගිහින් තේ පිළිබඳ හොයල බැලුවා. . විවිධ සොයා බැලීම් අතරතුර මට හිතුණා අපේ ම අනන්‍යතාවය සහිත නිෂ්පාදනයක් අපි කරන්න ඕනෙ කියල. මගේ ජපානයේ ඉන්න ඥාතියෙක් මගින් තමයි ගැනුම්කරුවෙක් සොයාගත්තෙ. ගැනුම්කරුවෙක් සොයා ගැනීම පිළිබඳ අපනයන සංවර්ධන මණ්ඩලයෙනුත් උපදෙස් ලැබුණා.”
ඉන් නොනැවතුණු ප්‍රසාද් මහතා තේ පරීක්ෂකයෙකු ලෙස පුහුණු වීම සඳහා තම පුත්‍රයා පෙළඹවූයේය. කඩිනමින් ඒ සඳහා වන ආයතනයකට යොමු කිරීමට තීරණය කළේය.


අපනයන වෙළඳාමෙහි නිරත වීම සරල දෙයක් නොවේ. ඒ සඳහා එළැඹිය යුතු ක්‍රියාවලියක් පවතී. අපනයනකරුවෙකු පළමුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි විය යුතුය. ඒ සඳහා ව්‍යාපාරයක් වශයෙන් ලියාපදිංචි වීමේ සහතිකය ඉදිරිපත් කළ යුතුය. ඊට අමතරව ඒ ඒ අපනයන නිෂ්පාදනය සඳහා ලියාපදිංචි විය යුතු සුවිශේෂී ආයතන ද වෙයි. තේ අපනයනය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ලියාපදිංචි වීම අවශ්‍යය. මෙම මූලික කටයුතුවලට අමතරව නිෂ්පාදනයක නිමාව, ඇසුරුම්කරණය මෙන් ම එහි ගුණාත්මක භාවය යන කාරණා ද අපනයන වෙළඳපොළ දිනාගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධක වෙයි. ඇතැම් විට විවිධ නිෂ්පාදන සඳහා නිකුත් කෙරෙන සහතික ලබා ගැනීමට ද සිදු වෙයි. සිය නිෂ්පාදනය වඩා හොඳ නිෂ්පාදනයක් කර ගැනීම සඳහා ක්ෂේත්‍ර අධ්‍යයනයන්, වෙළඳපොළ අධ්‍යයනයන් සිදු කළ යුතු වෙයි. නොඑසේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ආයතනවල සේවය ලබා ගත හැකිය. මේ අනුව අපනයන ක්‍රියාවලිය යනු ඉතා වගකීම් සහගත කාර්යභාරයකි. ප්‍රසාද් රණතුංග මහතාගේ සාර්ථකත්වය විමසීමේ දී දක්නට ලැබෙන වැදගත් ම කාරණය නම් තමාගේ අදහස සාර්ථක කර ගැනීම උදෙසා ඔහු දක්වන අසීමිත කැපවීම සහ උනන්දුවයි. මෙය නව ව්‍යවසායකයෙක්, අපනයනකරුවෙක් පමණක් නොව, ඕනෑම සාර්ථකත්වයක් හඹා යන්නෙකුට ආදර්ශයකි.
(මෙය අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකි.)
Video Story