මැටි පෝරණුවෙන් සැකසෙන රසවත් ආහාරයෙන් ඔබ පිනවන Charcoal Tandoor Fire Grill

    September, 3, 2026

    ඉවුම් පිහුම් සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීමට පෙර ආසියානු කලාපයේ බොහෝ රටවල ආහාර පිසීම සඳහා භාවිත කරනු ලැබුවේ මැටි පෝරණුවයි. වසර සිය ගණනක් පැරණි, සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම මැටි පෝරණුව තවමත් එම කලාපයන්හි ආහාර සංස්කෘතියේ ප්‍රධාන අංගයක් බවට පත්ව ඇත්තේ ආහාර රසවත්ව සකස් කර ගැනීමට එහි ඇති හැකියාව නිසාය. පසුගියදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වූ Charcoal Tandoor Fire Grill හි ආහාර පිසීම සිදු කරනුයේ මෙම මැටි පෝරණුව භාවිත කරමිනි. ඒ නිසාම රසයෙන් අනූන ආහාර වේලක් භුක්ති විඳීමට දැන් ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව උදා වී ඇත.

    සාම්ප්‍රදායික මැටි පෝරණුවක් රත් කරනු ලබන්නේ එහි පතුලේ අඟුරු දැල්වීමෙනි. ගින්න ටිකෙන් ටික ඉහළ යන විට, එහි ඇති ඝන මැටි බිත්ති මඟින් තාපය උරාගෙන රඳවා තබා ගනී. එමඟින් පෝරණුව වැඩි උෂ්ණත්වයක් සහිත පිසීමේ ස්ථානයක් බවට පත් වෙයි. මෙහිදී ආහාර එකවරම තාප ක්‍රම කිහිපයකට ලක් වේ. මස්, මාලු සහ එළවළු මැටි බිත්තිවලින් නිකුත් වන තාපය, කුටීරය පුරා කැරකෙන උණුසුම් වාතය සහ පහළින් ඇති අඟුරුවලින් කෙලින්ම නැගෙන රස්නය මඟින් හොඳින් පිස ගැනීමට මෙහිදී හැකි වේ. රොටි වර්ග සකස් කර ගැනීමේදී පෝරණුවේ බිත්තිවල අලවනු ලබන අතර, රත් වූ මැටි බිත්තිය සමඟ ගැටීමෙන් ඒවායේ දාර මෙන්ම මතුපිට ද මඳක් කර වී, ඇතුළත ඉතා මෘදු වන සේ පුලුස්සා ගැනීමටත් කදිම රසයක් ඊට එක් කිරීමටත් හැකි වේ.

    මෙම ක්‍රමවේදයන්ගේ එකතුව නිසා සාමාන්‍ය පෝරණුවකින් හෝ සාමාන්‍ය ග්‍රිල් එකකින් ලබාගත නොහැකි සුවිශේෂී රසයක් මෙන්ම නිමාවක් ආහාරයට එක් කර ගැනීමට මෙහිදී හැකි වේ. මෙහි ඇති ඉහළ උෂ්ණත්වය නිසා ආහාරවල පිටත කොටස ඉතා ඉක්මනින් රන්වන් පැහැ වී මඳක් කරවන අතර, අඩු කාලයකින් පිසින බැවින් ආහාර ඇතුළත ඇති තෙතමනය එලෙසම රැකේ. එමෙන්ම, අඟුරු දුමෙන් ලැබෙන සුවඳ නිසා සෑම කෑම වේලකටම සුවිශේෂී සුවඳක් සහ රසයක් එකතු වීම මෙහිදී නිරායාසයෙන්ම සිදු වනු ඇත.

    කෙසේ වෙතත්, සැබෑ තන්දූර් පිසීමේ කලාව යනු හුදෙක් ගින්නක් මත ආහාර තැබීම පමණක් නොවේ. මෙහි උෂ්ණත්වය මැනීමට හෝ ස්වයංක්‍රීයව පාලනය කිරීමට උපකරණ නොමැති බැවින් අඟුරුවල තත්ත්වය, මැටි බිත්තිවල රැඳී ඇති රස්නය සහ පෝරණුව තුළ සිදුවන වාතයේ සංසරණය පිළිබඳව සූපවේදීන් විසින්ම තීරණය කළ යුතුය. එමෙන්ම ඔවුන් එක් එක් අමුද්‍රව්‍යවල ප්‍රමාණය, එහි මෘදු බව, මස් පදම් කිරීමට යොදාගත් බඳුනේ ස්වභාවය සහ skewer හි නිවැරදි පිහිටීම පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. කාලය හෝ උෂ්ණත්වයේ සිදුවන ඉතා සුළු වෙනසකින් වුවද ආහාරයේ මෘදු බව, පැහැය සහ රසය ද වෙනස් විය හැකිය.

    මෙහිදී අදහස් දැක්වූ Charcoal හි නිර්මාතෘ Rohit Sachdev මහතා සඳහන් කර සිටියේ “Charcoal Tandoor Fire Grill හි මැටි පෝරණුව ඉතා විශේෂයි. එය මුලුතැන්ගෙයි තිබෙන ප්‍රධානතම සාධඛය ලෙස හැඳින්විය හැකියි. සාම්ප්‍රදායික මැටි පෝරණුවකින් වැඩ කිරීම සඳහා ඉවසීම, දැනුම සහ ගින්න පිළිබඳ අවබෝධය අත්‍යාවශ්‍ය වනවා. මෙහි උෂ්ණත්වය පාලනය කරන්න බොත්තම් හෝ රස්නය නිවැරදිද කියා කියන්න ඩිජිටල් තිර නොමැති නිසා ඊට සූපවේදියාගේ සහජ බුද්ධිය, පළපුරුද්ද සහ අත්දැකීම් ඉතා වැදගත් වනවා. අපේ සූපවේදීන් ඒ ගින්න මනාව පාලනය කරමින්, ආහාරවල ආවේණික සුවඳ සහ ඉහළ රසය සමඟින් ප්‍රණීත ආහාර වේලක් පාරිභෝගිකයින් වෙත ලබා දීමට කැපවී කටයුතු කරනවා.” යනුවෙන් පැවසීය.

    2014 වසරේ බැංකොක්හි ආරම්භ කරන ලද Charcoal උතුරු ඉන්දීය තන්දූර් සම්ප්‍රදායන්, මුග්ලායි (ආහාර කලාව සහ ඓතිහාසික Spice Route හි රසයන් පදනම් කරගනිමින් සිය අනන්‍යතාවය නිර්මාණය කොට ඇත. මෑතකදී කොළඹ Capitol Twin Peaks හි 50 වැනි මහලේ  දී ආරම්භ කරනු ලැබූ  නවතම Charcoal ශාඛාව එම සුවිශේෂී ආහාර සංස්කෘතිය ශ්‍රී ලාංකිකයින් වෙත රැගෙන ඒමට සමත්ව ඇත්තේ ජාත්‍යන්තර රසයන් භුක්ති විඳීමේ අවස්ථාව ඔවුන් වෙත උදා කර දෙමිනි.

    Charcoal Tandoor Fire Grill හි දේශීය සහකරු ලෙස කටයුතු කරන ජනප්‍රිය ගායන ශිල්පී භාතිය ජයකොඩි මහතා මෙහිදී සඳහන් කර සිටියේ සැබෑ ශිල්පීය හැකියාවන්ගෙන් යුත් උසස් අත්දැකීමක් පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා මෙම සාම්ප්‍රදායික පිසීමේ ක්‍රමවේදය ඒ අයුරින්ම රැකගැනීම අත්‍යවශ්‍ය වන බවයි. වැඩි දුරටත් අදහස් දැක්වූ භාතිය ජයකොඩි මහතා “කොළඹ අපගේ පාරිභෝගිකයින් තමන්ගේ කෑම බීම පිළියෙල කරගන්නා ආකාරය සහ සැබෑ සාම්ප්‍රදායික අත්දැකීමක් ලබා ගන්නා ආකාරය පිළිබඳව දැන ගැනීමට උනන්දුවෙන් පසුවනවා. පරම්පරා ගණනාවක දැනුම සමඟින් නවීන අවන්හලක ඇති නිවැරදි ප්‍රමිතියෙන් සහ උසස් මට්ටමෙන් යුතුව සාම්ප්‍රදායික තන්දූර් සංස්කෘතිය අත්විඳීමට මේ තුලින් ඔවුන්ට අවස්ථාව උදාවනවා.” යනුවෙන්ද සඳහන් කර සිටින ලදී.

    මෙහිදී අදහස් එක් කළ සන්තුෂ් වීරමන් මහතා සඳහන් කර සිටියේ Charcoal Tandoor Fire Grill හි අමුද්‍රව්‍ය සරල ලෙස පෙනෙන්නට තිබුණත්, දුම් සුවඳ, මෘදු බව  සහ මඳක් කරවීම අතර නිවැරදි සමබරතාවය ලබා ගැනීමට නම් ඒ පිළිබඳව ප්‍රවීනතාවක් අවශ්‍ය වන බවයි. Charcoal හි එම හැකියාවෙන් යුත් සූපවේදීන් සිටින බවත් එහි ඇති ආහාර මෙනුව තුලින් ඒ බව මනාව පෙනෙන්නට ඇති බවත් පවසන ඒ මහතා කොළඹ පාරිභෝගිකයන්ටලබාදීමට කැමති සැබෑ අත්දැකීමේ ප්‍රධානතම අංගය වන්නේද මෙම සාම්ප්‍රායික මැටි පෝරණුව බව පවසා සිටියි.

    සැබෑ අඟුරු යොදා ගනිමින් එහි ගින්නෙන් ආහාර පිසීමේ තන්දුරි කලාවේ සුවිශේෂී අත්දැකීමක් වන Charcoal Tandoor Fire Grill හි සැබෑ ආහාර රසය රිසි සේ භුක්ති විඳින අතරම කොළඹ නගරයේ ආකර්ෂණීය දසුන් දැකගැනීමේ දුර්ලභ අවස්ථාවද පාරිභෝගිකයින්ට උදා කර ගත හැකිය.

    මේ රසවත් අත්දැකීම විඳගැනීමට ඔබේ ඉඩකඩ වෙන්කරවා ගන්න 0112 123456 ට අදම අමතන්න.