May, 5, 2026
2026 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 135,643ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී.
මෙය 2025 අප්‍රේල් මාසයේ පැමිණ තිබූ 174,608ක සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 22.3%ක පහළ යාමකි.
මේ අනුව 2026 මුල් මාස 04 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 876,277ක් වේ.
2026 අප්‍රේල් මාසයේ සංචාරක පැමිණීම සැලකීමේ දී සුපුරුදු පරිදි ඉන්දියානු සංචාරකයින් සමස්ත සංචාරක පැමිණීමෙන් 31%ක් නියෝජනය කරන අතර එම ප්‍රමාණය 42,645කි.
මේ අතර මෙම ලැයිස්තුවේ දෙවැනි තැනට චීන සංචාරක පැමිණීම පත්ව තිබීම විශේෂත්වයකි. සංඛ්‍යාත්මකව එම 10,544ක් වන අතර අප්‍රේල් මාසයේ පැමිණ ඇති සමස්ත සංචාරක සංඛ්‍යාවෙන් 7.77%ක් වේ. මාසික සංචාරක පැමිණීමෙහි මුල් ස්ථාන දෙක අතරට චීනය මෙලෙස පැමිණ ඇත්තේ වසර ගණනාවකින් පසුවය.
මැදපෙරදිග උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ගුවන් ගමන් සීමා වීම, ගෝලීය සංචාරක කර්මාන්තය මෙලෙස පසුබෑමකට ලක්වීමට ප්‍රධාන වශයෙන් හේතුවිය. විශේෂයෙන්ම ඩුබායි ගුවන් තොටුපළ වැනි සංක්‍රාන්ති කේන්ද්‍රස්ථානයක් (Transit Hub), යුද්ධයේ සෘජු බලපෑමට ලක්වීම හේතුවෙන්, යුරෝපාකරය ඇතුළු බටහිර රටවල් ගණනාවකට ගුවන් මගින් ආසියානු කලාපය හරහා ගමන් කිරීමට ඇති හැකියාව මේ වන විට දැඩි ලෙස සීමා වී ඇත.
එසේම ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යාම හමුවේ ගුවන් යානා ඉන්ධන පිරිවැය වැඩිවීමත් හේතු කොට ගෙන සෙසු කලාපයන් වෙතින් පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ද පහළ ගොස් තිබේ.
මෙවැනි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාව වැනි සංචරක කර්මාන්තය ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ගයක්ව පවතින රටවලට ඇත්තේ දැඩි බලපෑමකි.




Video Story