මැලිබන් ගෝල්ඩ් මාරි, කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එක්ව ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනය සමරයි

    June, 21, 2023

    දරුවන්ට සතුටින් හා නිදහසින් සපිරි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන මැලිබන් ගෝල්ඩ් මාරි පසුගියදා ශ්‍රී ලංකා කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එක්ව නෙළුව, ගා/මණ්ඩලපුර කණිෂ්ට විද්‍යාලයේදී 2023 ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනය සමරන ලදී. 2025 වසරේදී ළමා ශ්‍රමය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ වැඩසටහනට සමගාමීව පවත්වනු ලැබූ මෙම ළමා ශ්‍රම විරෝධී දින සැමරුම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මැතිතුමා, කම්කරු කොමසාරිස් ජනරාල් නීතීඥ බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශ ලේකම් ආර්.පී.ඒ . විමලවීර මහතා සහ කාන්තා හා ළමා කටයුතු අංශයේ කම්කරු කොමසාරිස් එන්. එම්. වයි. තුෂාරි මහත්මිය සමඟ මැලිබන් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්, දෙමව්පියන් මෙන්ම දූ දරුවන් රැසක් එක්ව සිටියහ.

    ශ්‍රී ලංකාව තුළ දරුවන් විවිධ හේතු මත අධ්‍යාපනය හැර දමා විවිධ රැකියාවන්හි නිරත වීමේ වැඩි අවධානමක් සහිත කාල වකවානුවක් තුළ දරුවන්ට වඩා හොඳ සතුට හා නිදහස පිරුණු හෙට දවසක් නිර්මාණය කිරීම වෙනුවෙන් මැලිබන් ගෝල්ඩ් මාරි කටයුතු කරමින් සිටින්නේ එවන් අවධානමක පසුවන දරුවන්ට මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ටද සාර්ථක හෙට දවසකට මඟ විවර කරමිනි. 2025 වන විට ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය තුරන් කිරීමේ මෙහෙවර සියල්ලට පෙර ආරම්භ කළ මැලිබන් බිස්කට්, සිය ගෝල්ඩ් මාරි සන්නාමය යටතේ 2021 වසරේ ලෝක ළමා දිනය නිමිති කර ගනිමින්   'නිදහසේ රන් දරුවෝ' අරමුදල නිර්මාණය කරමින් ඊට සාර්ථක ආරම්භයක් සපයනු ලැබීය. එම අරමුදල තුළින් අධ්‍යාපනය අත හැර විවිධ රැකියාවන් වෙත යොමු වීමේ ඉඩකඩක් සහිත දරුවන් සිටන පවුල් තෝරා ගනිමින් එම පවුල්වල ආර්ථික හැකියාවන් ඉහළ නැංවීමට කටයුතු යොදන ලදී. දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක එම වැඩසටහන තුළින් අද වන විට නව ජීවයක ලබා ඇති පවුල් සංඛ්‍යාව 50කට ආසන්නය. 'නිදහසේ රන් දරුවෝ’ අරමුදල තුළින් එම පවුල්වල ආර්ථික දියුණුව වෙනුවෙන් අවශ්‍ය මඟ පෙන්වීම හා පහසුකම් සලසා දීමට මැලිබන් ගෝල්ඩ් මාරි කටයුතු කර ඇති අතරම අද වන විට එම පවුල්වලින් බොහොමයක් ඉතා සාර්ථක ව්‍යවසායකයන් බවට පත්ව ඇත්තේ දරු දැරියන්ටද සතුට, නිදහස සපිරි ජීවිතයක් උරුම කර දෙමිනි.

    ජාත්‍යන්තර කම්කරු සංවිධානය මඟින් පසුගියදා එලි දක්වන ලද වාර්තාවට අනුව ගෙවුණු 20 වසර තුළ ප්‍රථම වතාවට 2023 වසරේදී ළමා ශ්‍රමිකයින්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි. ලෝකය පුරා ළමුන් මිලියන 160ක් එනම් සෑම ළමුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් මෙම අවාසනාවන්ත තත්වයට පත්ව ඇති බවද ජාත්‍යන්තර කම්කරු සංවිධානය මෙහිදී අවධාරණය කොට ඇත. එහිදී ලෝක කම්කරු සංවිධානය පෙන්වා දෙන්නේ දෙමව්පියන්ගේ නොසැලකිලිමත් භාවය නිසා දරුවන් විවිධ රැකියාවන් වෙත යොමු වන බවයි. එසේ හෙයින් ළමා ශ්‍රමිකත්වය අවම කිරීමට නම් වැඩිහිටියන්ට විශේෂයෙන් දෙමව්පියන්ට රැකියා අවස්ථා ලබා දිය යුතු බවද ජාත්‍යන්තර කම්කරු සංවිධානය මෙම වාර්තාව තුළින් සඳහන් කර ඇත. ජාත්‍යන්තර කම්කරු සංවිධානය ළමා ශ්‍රමය තුරන් කිරීම වෙනුවෙන්  දෙමව්පියන් ආර්ථික වශයෙන් බල ගැන්විය යුතු බව අද දවසේදී සිය වාර්තාවන් මඟින් එළි දක්වන විට මැලිබන් බිස්කට් සමාගම සහ මැලිබන් ගෝල්ඩ් මාරි විසින් ශ්‍රී ලංකාව තුළ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් සිටින්නේ මීට වසර 3ක සිට වීම විශේෂත්වයකි.

    2023 ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනය සැමරීමේ උත්සවයෙහ් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ කම්කරු හා විදේශ රැකියා අමත්‍ය මනූෂ නානායක්කාර මැතිතුමා මෙහිදී අදහස් දක්වමින් “ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය නිමිත්තෙන් මේ ආකාරයේ වැඩසටහනක් සංවිධානය කිරීම වෙනුවෙන් මැලිබන් ආයතනයට මා මුලින්ම ස්තුතිවන්ත වනවා. ලංකාවේ පමණක් නොවෙයි සමස්ත ලෝකයේම පවුල් බහුතරයක ආර්ථික තත්වය ඉතා පහළ මට්ටමක පවතින කාල වකවානුවක් තුළ දරුවන් විවිධ රැකියා සඳහා යොමු වීමේ වැඩි ඉඩක් පවතිනවා. රටක අනාගතය තීරණය කරන දරු පරපුර ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සියලු වැඩිහිටියන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක් ලෙසයි මම දකින්නේ. ඒ වෙනුවෙන් මැලිබන් ආයතනය විසින් ආරම්භ කළ 'නිදහසේ රන් දරුවෝ’ අරමුදල තුළින් ඉටු කරන කාර්ය භාරය ඉතා විශිෂ්ටයි. 2025 වසර වන විට ළමා ශ්‍රමය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම වෙනුවෙන් කම්කරු අමාත්‍යංශය ලෙස අවශ්‍ය සියලු පියවර ගැනීමට අපි කටයුතු කරනවා” යනුවෙන් පවසා සිටින ලදී.

    මෙහිදී අදහස් දැක්වූ මැලිබන් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන මහතා සඳහන් කර සිටියේ “රටක අනාගතය ඒ රටේ දරු පරපුර මත රැඳී පවතින බව අප සියලු දෙනාගේ පිලි ගැනීමයි. ඒ නිසාම රටට යහපත් අනාගතයක් උදා කර දීමට නම් යහපත් දරු පරපුරක් නිර්මාණය කළ යුතුයි.යහපත් දරු පරපුරක් නිර්මාණය කිරීමට නම් ඔවුන්ට හරවත් ළමා කාලයක් තිබිය යුතුයි.  සතුටින් නිදහසින් තමන්ගේ ළමා කාලය ගත කිරීමේ අවස්ථාව ඔවුන්ට උදා කර දීමට අපි කටයුතු කළ යුතුයි. මැලිබන් ගෝල්ඩ් මාරි ‘රන් දරුවෝ’ අරමුදල හරහා ඉටු කරමින් සිටින්නේ ඒ වගකීමයි” යනුවෙනි.

    මැලිබන් ගෝල්ඩ් මාරි 'නිදහසේ රන් දරුවෝ’ අරමුදල සඳහා ඔබ මිලදී ගනු ලබන සෑම ග්‍රෑම් 80ක ගෝල්ඩ් මාරි බිස්කට් පැකට්ටුවක් තුළින්ම ශත 50ක මුදලක් වෙන් කරනු ලබයි. ඒ අනුව මැලිබන් ගෝල්ඩ් මාරි මිලදී ගනු ලබන සෑම පාරිභෝගිකයකුම මෙම සුවිසල් සමාජ සත්කාරයේ අභිමානවත් කොටස්කරුවකු බවට පත්වනු ලබයි. 2021 ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් මැලිබන ගෝල්ඩ් මාරි සන්නාමය යටතේ පිහිටුවනු ලැබූ ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදලෙහි ප්‍රධාන අරමුණ වන්නේ දරුවන්ට සතුටින් හා නිදහසින් සපිරි ලෝකයක් නිර්මාණය කිරීමයි.