මිරිදිය  ධීවර කර්මාන්ත සංවර්ධනයට සහ ග්‍රාමීය ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ජපන් රජය විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ඩොලර් මිලියන තුනක් පිරිනමයි

    April, 25, 2024

    ධීවර අමාත්‍යාංශය සමඟ එක්ව මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම සහ ග්‍රාමීය ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ජපාන රජය එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හරහා ඇමරිකානු ඩොලර් මිලියන 3ක ප්‍රදානයක් ලබා දී ඇත.

    මඩකලපුව, මුලතිව්, අනුරාධපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රජාව විසින් ක්‍රියාත්මක වන කුඩා අභිජනනාගාර හතරක් ස්ථාපිත කිරීම, අභිජනන සහ මත්ස්‍ය පැටවුන් ඇතිකිරීමේ හැකියාව වැඩි කිරීම සඳහා NAQDA ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථාන හතරක් සහ ප්‍රජාව විසින් මෙහෙයවන ලබන මත්ස්‍ය අභිජනනාගාරයක් වැඩිදියුණු කිරීම, තෝරාගත් ජලාශවල මත්ස්‍ය පැටවුන් ගහණය වර්ධනය කිරීම, අභිජනනාගාරවල මව් හා පිය මත්ස්‍ය ගහණය වැඩි කිරීම ධීවර ප්‍රජාවන් අතර කූඩු තුළ මසුන් ඇති කිරීම ප්‍රවර්ධනය හා ප්‍රජාවගේ ජීවොනෝපාය හැකියාව සංවර්ධනය කිරීම මගින් ආහාර හා පෝෂණ සුරක්ෂිතභාවය ඉහළ නැංවීම සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් මෙම ඩොලර් මිලියන තුන භාවිතා කෙරේ.

    වසරක ව්‍යාපෘතිය මගින් NAQDA වෙත සජීවී මත්ස්‍ය ප්‍රවාහන ට්‍රක් රථ 3ක් සපයනු ලැබේ. මිරිදිය ධීවර කර්මාන්තයට ඩිජිටල් තාක්‍ෂණය ඒකාබද්ධ කිරීම සහ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය, කළමනාකරණය, සැකසීම සහ අගය එකතු කිරීමේදී නිලධාරීන්ගේ සහ ධීවරයින්ගේ තාක්ෂණික හැකියාවන් ඉහළ නැංවීම ද සිදු කෙරේ. දේශීය හා විදේශීය විශේෂඥවරුන් මගින් "ස්වයන් වගා පාදක මිරිදිය ධීවර කර්මාන්තය" ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය විවිධ ක්ෂේත්‍රයන්ගේ තාක්ෂණික දැනුම ලබා දීම සිදුකිරීම සහ මත්ස්‍ය අභිජනන, වගාව සහ කළමනාකරණයට අවශ්‍ය කරන සියලුම උපකරණ මෙම ව්‍යාපෘතිය හරහා ලබා දීමට සැලසුම් කර ඇත.

    ජපන් තානාපති ගරු මිසුකොෂි මහතා සිය කතාවේදී පහත දැක්වෙන කරුණු අවධාරණය කළේය: “ජපානය සහ ශ්‍රී ලංකාව යන දූපත් ජාතීන් දෙකම අපගේ ආර්ථිකයන් සහ සංස්කෘතීන් තුළ ධීවර කර්මාන්තයේ වැදගත්කම පිළිබඳව ගැඹුරින් මුල් බැසගත් අගය කිරීමක් බෙදාහදා ගනිති. මෙම හවුල් වැදගත්කම හඳුනා ගනිමින් ජපානය 2023 වසරේ සිට ශ්‍රී ලංකාවේ ධීවර සංවර්ධනයට, විශේෂයෙන්ම සමුද්‍රීය ක්ෂේත්‍රයට සහය දැක්වීමට කැප වී සිටියි. අපගේ අඛණ්ඩ උත්සාහයට සමගාමීව මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමඟ ජපානය ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමටත්, එමගින් ආහාර සුරක්ෂිතතාවය සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමටත් ඇප කැප වෙයි."

    ධීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද මහතා මෙසේ පැවසීය: "ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර අංශයට ඉතිහාසය පුරාම රාජ්‍යන් සහය ලැබී ඇති අතර, ජාතියේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් එමගින් ලබාදී ඇත. කෙසේ වෙතත්, මෑතකාලීන මූල්‍ය අභියෝග හේතුවෙන් ක්ෂේත්‍රයට අවශ්‍ය සම්පත් අහිමි වී ඇති අතර, මිරිදිය ධීවර ප්‍රජාවන් සහ ග්‍රාමීය ජනතාව අතර දුෂ්කරතා උග්‍ර වී ඇත. මෙම ව්‍යාපෘතිය ක්ෂේත්‍රය පුනර්ජීවනය කිරීමට සහ සම්බන්ධ වූ සියලුම පාර්ශ්වකරුවන්ට තිරසාර ප්‍රතිලාභ සහතික කිරීමේ ප්‍රධාන පියවරකි."

    මෙම ව්‍යාපෘතිය මගින් දළ වශයෙන් මිරිදිය ධීවරයින් 3,000 කට, කුඩා අභිජනන මෙහෙයුම්වල යෙදී සිටින ගොවීන් 40 දෙනෙකුට සහ මත්ස්‍ය ආහාර සැකසීමේ විශේෂඥ ගොවීන් 20 දෙනෙකුට සෘජුව සහාය දැක්වීමට අරමුණු කරයි. එපමණක් නොව, පවුලේ සාමාජිකයන්, පාරිභෝගිකයින්, කරවල නිෂ්පාදකයින් සහ පර්යේෂණ සහ ශාස්ත්‍රීය අංශයේ පාර්ශවකරුවන් ඇතුළු වක්‍ර ප්‍රතිලාභීන් කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ද එමගින් අපේක්ෂා කෙරේ.

    "මෙවැනි හවුල්කාරිත්වයන් තිරසාර සංවර්ධනය සඳහා සාමූහික ක්‍රියාකාරීත්වයේ බලපෑම පෙන්නුම් කරයි. ප්‍රජාවන් සවිබල ගන්වන සහ මිරිදිය ධීවර කර්මාන්තය වැනි තීරණාත්මක අංශ ශක්තිමත් කරන සහයෝගීතාවයන් පෝෂණය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපි කැපවී සිටිමු. මෙම ව්‍යාපෘතිය හරහා අපි ග්‍රාමීය ජීවනෝපායන් සහ ආහාර සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීම පමණක් සීමා නොවෙමු.අපි ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවන්ට ඔරොත්තු දෙන අනාගතයක් සඳහා පදනම ද සකසන්නෙමු, ” යි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා පැවසීය.

    "මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ සහ මිරිදිය ධීවර කර්මාන්තයේ තිරසාර බව සහතික කිරීමේ වැදගත්කම අවතක්සේරු කළ නොහැකියි" යනුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා ප්‍රකාශ කළේය. “මෙම ව්‍යාපෘතිය හුදෙක් ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම පමණක් නොව, ග්‍රාමීය ප්‍රජාවන්ගේ, විශේෂයෙන්ම මිරිදිය ධීවර ජනතාවගේ ජීවනෝපාය නඟාසිටුවීම සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන ව්‍යාපෘතියකි. තෝරාගත් ජලාශවල ස්වයං තිරසරභාවය පදනම් කරගත් ධීවර කර්මාන්තය දියුණු කිරීම අවශ්‍යය. මෙම ප්රජාවන්ගේ අභිවෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය වේ."

    ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවන් තුළ ආහාර සුරක්ෂිතතාව, ජීවනෝපායන් සහ ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි කල්පවත්නා ධනාත්මක බලපෑම් ඇති කිරීම අරමුණු කරගනිමින්, මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා FAO සිය කැපවීමෙහි නොසැලී සිටියි.

     

    ඡායාරූප විස්තර: ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු මිසුකොෂි හිදේකි මහතා, ගරු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා, ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා, ශ්‍රී ලංකාවේ FAO නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා සහ ධීවර අමාත්‍යාංශයේ ලේකම් කේ.එන්. කුමාරි සෝමරත්න මහත්මිය ඇතුළු පිරිසක් නිල ව්‍යාපෘති ලේඛන අත්සන් කිරීමේ අවස්ථාව. උත්සවය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයේදී පැවැත්විණි