මෙවරත් ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරඟාවලියට ප්‍රීමා සන්රයිස් බ්‍රෙඩ් අනුග්‍රහය

    November, 30, 2021

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් 2020 වසරේ රට අගුළු දැමීමත් සමග ම සියලුම තරඟාවලි පැවැත්වීම තාවකාලිකව නතර කෙරිණි. වර්තමානය වන විට එම තත්ත්වය යම් දුරකට පහව ගොස් ඇති නිසා 13 වන වතාවට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ්  තරඟාවලිය මේ වසරේ දී පැවැත්වීම සඳහා සියලුම කටයුතු සූදානම් කර ඇති අතර, මෙම තරඟාවලිය   සඳහා මෙවරත් අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ ප්‍රීමා  සමාගම යි. දශකයකට වැඩි කාලයක් ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරඟාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන  ප්‍රීමා සමාගම,  ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය සමඟ එක්ව මෙරට කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා  අඛණ්ඩව කැපවී සිටින බව පැවසිය යුතුම කරුණකි.

    ප්‍රීමා ගෲප් ශ්‍රී ලංකා හි ප්‍රීමා සන්රයිස් බ්‍රෙඩ් අනුග්‍රහයෙන් සහ ක්‍රීඩා සමාජ ගණනාවක සහයෝගයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලිය 2021 දෙසැම්බර් 15 සිට 17 දක්වා RCGC හි දී පැවැත්වීමට නියමිත ය. මෙම තරඟාවලිය මෙරට සිටින දක්ෂ ක්‍රීඩකයි හඳුනා ගැනීම සඳහා තෝතැන්නක් ලෙස හැඳින්විය හැකි අතර,  මෙරට කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩාවේ ජාතික ශ්‍රේණිගත කිරීම් සඳහා මිනුම් දණ්ඩ වන්නේ ද මෙම තරඟාවලිය යි.  එමෙන් ම බාලක සහ බාලිකා යන කාණ්ඩ දෙක යටතේ ම පැවැත්වෙන මෙම තරඟාවලියෙහි ජයග්‍රාහකයින් ජාතික කනිෂ්ඨ ශූරයා සහ ශූරිය ලෙස කිරුළු පළඳිනු ඇත.

    මෙහි දී අදහස් දැක් වූ ශ්‍රී ලංකා ගොල්ෆ් හි කනිෂ්ඨ සංවර්ධන අංශයේ සභාපතිනිය වන නිලූ ජයතිලක මහත්මිය මෙසේ අදහස් දැක්වුවා ය. “ රට පුරා ගෝල්ෆ් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රීමා සමාගම වගේ ම ප්‍රීමා සන්රයිස් බ්‍රෙඩ් ලබා දෙන අනුග්‍රහය, ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයට විශාල ශක්තියක්.  ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා ගොල්ෆ් ක්‍රීඩාව බිම් මට්ටමින් ප්‍රචලිත කිරීම සඳහා අප ගෙන යන වැඩසටහන් නිසා මෙම ක්‍රීඩාවේ ජනප්‍රියත්වය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව පෙනෙන්නට තිබෙනවා.  මෙම තරඟාවලිය  දක්ෂ ගෝල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා ඔපමට්ටම් කරමින් ශ්‍රී ලංකාවේ අනාගත ජාතික හා ජාත්‍යන්තර ගෝල්ෆ් නියෝජනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහනක් කිව්වොත් මම නිවැරදියි. රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමග ම අපි  මේ වසරේ දී අනුරාධපුර ගොල්ෆ් ඇකඩමියෙන් කනිෂ්ඨ පුහුණුවීම් කටයුතු ආරම්භ කළ බවත් මතක් කිරීමට කැමතියි."

    ප්‍රීමා ශ්‍රී ලංකා සමූහ ව්‍යාපාරයේ සමූහ  සාමාන්‍යාධිකාරී ලෝරන්ස් චාන් මහතා මෙම අවස්ථාවේ දී මෙසේ අදහස් දැක්වුවේ ය.

    “ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩාවට දීර්ඝ කාලයක් තිස්සේ අනුග්‍රාහකත්වය ලබාදෙන  ප්‍රීමා ගෲප් ශ්‍රී ලංකා සමාගමට සහ ප්‍රීමා  සන්රයිස් බ්‍රෙඩ් සන්නාමයට 13 වන වරටත්  විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය වෙත අනුග්‍රහය දැක්වීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා.  රටේ ඉදිරියට එන තරුණ ගොල්ෆ් ක්‍රීඩකයින් සඳහා වඩාත් වැදගත් ම තරඟාවලිය විදියට මෙම තරඟාවලිය හඳුන්වා දීමට පුළුවන්. ඒ නිසා ම  මේ වසරේදීත් උසස් ප්‍රමිතියෙන් යුතුව විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙවරත් මෙම තරඟාවලිය සඳහා  සත්කාරකත්වය ලබා දීමේ අවස්ථාව ප්‍රීමා ගෲප් ශ්‍රී ලංකා සමාගම වෙත ලබා දීම පිළිබඳව වගේ ම, මෙරට ගෝල්ෆ් ක්‍රීඩාව ව නැංවීමට ගන්නා උත්සහය පිළිබඳව මම නැවතත් ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයට  ස්තුතිවන්ත වෙනවා." 

    මෙම තරඟාවලිය මෙවරත් අවුරුදු 15-18 (රන් අංශය), අවුරුදු 12-14 (රිදී අංශය), අවුරුදු 10 -11 (ලෝකඩ අංශය) සහ අවුරුදු 9 සහ ඊට අඩු (තඹ අංශය) ආදී වශයෙන් වයස් කාණ්ඩ හතරක් යටතේ පැවැත්වෙන අතර, බාලක අංශයෙන් හරූන් අස්ලම්, නිරේක් තේජ්වානි, යානික් කුමාර, රෙෂාන් අල්ගම යන ක්‍රීඩකයින් සහ බාලිකා අංශයෙන් ටානියා බාලසූරිය, ෂෙරින් බාලසූරිය, දේවින්කා කනගීශ්වරන්, කායා දළුවත්ත සහ කයිලා පෙරේරා යන ක්‍රීඩිකාවන් තරඟ වැදීමට නියමිතය. එමෙන් ම කනිෂ්ඨත ම වයස් කාණ්ඩය යටතේ කේ.දනුෂාන්, ශනාල් බිනුක්ෂ, කේෂව් අල්ගම, තේජස් කාන්ත් සහ කවාන් තේජ්වානි දක්ෂතා අතර සිටින තරඟ කරුවන් ලෙස  හඳුනාගෙන ඇති අතර, මෙම තරඟාවලිය ඔවුන්ට තම දස්කම් දැක්වීමට ස්වර්ණමය අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.

    රට නැවත විවෘත වීමත් සමඟ, මෙවර තරඟාවලිය සඳහා විදේශීය තරඟ කරුවන් රැසක් ද සහභාගි වීමට නියමිත අතර, එම නිසා මෙම තරඟාවලිය දැඩි තරඟකාරී සහ උණුසුම් එකක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වන 'ප්‍රීමා සන්රයිස් බ්‍රෙඩ්' විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පෝෂණය ලබාදීම කෙරෙහි නිරන්තර අවධානය යොමු කරමින් කටයුතු කරනු ලබන බව පැවසිය යුතු ම කරුණකි. තරඟාවලියට අදාළ ත්‍යාග ප්‍රදානය දෙසැම්බර් 17 සිකුරාදා සවස 3.30 ට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

     

    ඡායාරූප: වමේ සිට :  ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ භාණ්ඩාගාරික - සුදත් ගැටවකන්ද මහතා , ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ ලේකම් - ලාල් වික්‍රමතුංග මහතා, ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ කනිෂ්ඨ සංවර්ධන අංශයේ සභාපතිනිය - නිලූ ජයතිලක මහත්මිය, ප්‍රීමා ශ්‍රී ලංකා සමූහ ව්‍යාපාරයේ සමූහ  සාමාන්‍යාධිකාරී -  ලෝරන්ස් චාන් මහතා, ප්‍රීමා ශ්‍රී ලංකා සමූහ ව්‍යාපාරයේ සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් හි සාමාන්‍යාධිකාරී - ෂුන් ටියන් ෂිං මහතා සහ ප්‍රීමා ශ්‍රී ලංකා සමූහ ව්‍යාපාරයේ සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා.