යුනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා සම්පාදකයා ලෙස නම්කෙරේ

    June, 23, 2021

    යුනියන් ඇෂුවරන්ස් සමාගම International Finance සම්මාන උළෙලේදී 2021 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා සම්පාදකයා ලෙස නම්කර තිබේ. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලන තරගකාරී සේවාවන් සැපයීම සම්බන්ධයෙන්, සමාගම් රැසක් සමීක්ෂණයට ලක්කිරීමෙන් අනතුරුව මෙම සම්මානය යුනියන් ඇෂුවරන්ස් වෙත පිරිනමා ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා මෙසේ පැවසී ය. "පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදනය යනු අප කවදත් ප්‍රමුඛත්වය ලබාදෙන දෙයක්. අපගේ සේවාවන්, ක්‍රියාවලි හා තාක්ෂණයන් හරහා පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් ලබාදීමට හැකිවන ආකාරයේ සුරක්ෂිත හා විශ්වාසනීය වටාපිටාවක් අපගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් පවත්වාගෙන යාමට අප කටයුතු කර කටයුතු කරනවා. COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ පවා, වෙනස්වන තත්ත්වයන්ට ඉක්මනින් අනුගත වෙමින්, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා පුරෝකථනය කරමින්, තරගකාරී වාසියක් අත්පත් කරගැනීමට අපට හැකිවුණේ මේ ප්‍රවේශය නිසයි."

    COVID-19 රෝග ව්‍යාප්තිය නිසා ඇතිවූ තත්ත්වයන් හමුවේ, නව රක්ෂණ මිලදී ගැනීම් සහ රක්ෂණ නැවත අලුත් කිරීම් සඳහා නිවසේ සිටම මුදල් ගෙවීමට හැකි වන ආකාරයට ඩිජිටල් ගෙවීම් ක්‍රම හඳුන්වා දීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම ඉක්මනින්ම කටයුතු කළේ ය. මේ නිසා රක්ෂණ අලුත් කිරීම් වලින් 90% ක්ම ඩිජිටල් ගෙවීම් ක්‍රම සහ ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කිරීමේ ක්‍රම ඔස්සේ සිදුවිය. එමෙන්ම නව ඩිජිටල් තාක්ෂණයන් සම්බන්ධයෙන් පැවති පෙර-සූදානම නිසා, ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ සේවාවන් සැපයීමට හැකිවන ආකාරයට තම රක්ෂණ උපදේශක වරුන්ට මාර්ගගත (Online) ක්‍රම ඔස්සේ ඩිජිටල් තාක්ෂණ පුහුණුව ලබාදීමට සමාගමට හැකියාව ලැබිණි. පැය 24 පුරා ක්‍රියාත්මක ත්‍රයිභාෂික ඇමතුම් මධ්‍යස්ථානය, WhatsApp,  මාර්ගගත චැට්බොට් සේවාව සහ, නිවසේ සිටම සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ClickLife app යනාදිය ඔස්සේ කිසිදු බාධාවකින් තොර අඛණ්ඩ සේවාවක් ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන ලදි.

    මීට අමතරව පරිපූර්ණ පාරිභෝගික පැමිණිලි කළමනාකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කරන ලද අතර, වාර්තාගත කාලයක් ඇතුළත ගනුදෙනුකරුවන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමය යුනියන් ඇෂුවරන්ස් සමත් වී තිබේ. තවද රක්ෂණ හිමියන්ට එක් දිනක් තුළ සේවා සැලසීම සම්බන්ධයෙන් 85% ක සාර්ථකත්වයක් පෙන්නුම් කරමින්,  කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් මෙරට රක්ෂණ ක්ෂේත්‍රයට නව ආදර්ශයක් සැපයීමට යුනියන් ඇෂුවරන්ස් සමාගමට හැකියාව ලැබී ඇත.

    "අනාගත අපේක්ෂාවන්, ජීවන රටාවන් සහ සම්බන්ධතා වලට රැකවරණය සැලසීම යනු අපගේ ප්‍රධානතම පොරොන්දුවයි. අපට මුහුණ දීමට සිදුවූ සෑම අභියෝගයක්ම, මෙම පොරොන්දුව ඉටුකිරීමට ලැබුණු අවස්ථාවක් බවට පත්කර ගැනීමට අපට කටයුතු කළා. පාරිභෝගිකයන් සමග නිරන්තර සම්බන්ධතා පවත්වා ගනිමින්, වගකීම් සහගත රක්ෂණ සමාගමක් බවට පත්වීම යනු හුදෙක් වචනයට සීමා නොවන, ප්‍රායෝගිකව කළ හැකි දෙයක් බව පෙන්වා දීමට අපට හැකි වී තිබෙනවා." ජූඩ් ගෝම්ස් මහතා වැඩිදුරටත් පැවසී ය.

    ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු සහ, මෙරට වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, 2021 මාර්තු මාසය වනවිට බිලියන 18.2 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 43.8 ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ, 326% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. දිවයින පුරා විසිරුණු ශාඛා 76 ක් සහ 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, මානව සම්පත්, සේවාවන් හා ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා දිගින් දිගටම ආයෝජනයන් සිදුකරමින් සිටී.

    ඡායාරූපයයුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා.