යුනිලිවර් ශ්‍රී ලංකා හි හොරණ කර්මාන්තශාලාවට ප්‍රථම වරට කාන්තා බලකාය බඳවා ගනී

    November, 24, 2021

    විවිධත්වයෙන් යුතු රැකියා ස්ථානයක් නිර්මාණය කිරීමේ සුවිසල් ඉදිරි පියවරක් තබයි

    වර්තමානය වන විට රැකියා ස්ථානයක වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තව දුරටත් අරුත් ගන්වමින් ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන (FMCG) අංශයේ ප්‍රමුඛතම සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, සිය හොරණ කර්මාන්තශාලාව වෙනුවෙන් කාන්තා බලකාය බඳවා ගැනීමට කටයුතු කර ඇත්තේ විවිධත්වයෙන් යුත් රැකියා ස්ථානයක් නිර්මාණය කිරීමේ සුවිසල් ඉදිරි පියවරක් තබමිනි. මෙහිදී වෘත්තීය සදුසුකම්වලින් පරිපූර්ණ නවක සේවිකාවන් 23 දෙනෙකු ආයතනය හා සම්බන්ධ කර ගැනීමට යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය කටයුතු කරන ලදී. එහි ඇතැම් සේවිකාවන් විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ බාහිර උපාධි පාඨමාලාවන් හදාරමින් සිටීමද විශේෂත්වයකි. දැනට කාන්තා සේවිකාවන් විසින් සම්පූර්ණයෙන් මෙහෙයවනු ලබන හොරණ යුනිලිවර් කර්මාන්තශාලාවේ පුද්ගලික නිෂ්පාදන අංශයට සහ බේබි කලෝන් අංශය සම්බන්ධව එම සේවිකාවන් ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය.

    මේ වන විට යුනිලිවර් ශ්‍රී ලංකාහි කළමනාකරණ කමිටුවෙන් 55%ක් නියෝජනය කරනු ලබන්නේ කාන්තාවන් වන අතර සමාගමේ සමස්ත කාන්තා නියෝජනය මුළු ශ්‍රම බලකායෙන් 31%කි. ගෝලීය වශයෙන් ගත් කල යුනිලිවර් සමාගම විසින් 50:50 ස්ත්‍රී පුරුෂ සමතුලිතතාවයක් පවත්වා ගැනීමට කටයුතු කර ඇත්තේ 2020 වසර වන විට එහි ගෝලීය ව්‍යාපාරය තුළ කළමනාකරණ ක්ෂේත්‍රය තුළ සමාන ස්ත්‍රී පුරුෂ සහභාගීත්වයක් ඇති කරමිනි. 2010 වසරේදී ආරම්භ කරන ලද එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට පසුගිය වසරේදී යුනිලිවර් සමාගමට හැකියාව උදා විය.

    යුනිලිවර් සමාගමේ මෙම විවිධත්වයෙන් යුත් රැකියා ස්ථානයක් නිර්මාණය කිරීම සඳහා වන කැපවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකාහි මානව සම්පත් අධ්‍යක්ෂිකා අනන්‍යා සබර්වාල් මහත්මිය “වර්තමානය වන විට පුරුෂ පාර්ශවයේ වැඩි සහභාගීත්වයක් ඇති නිෂ්පාදන හා විකුණුම් අංශයන්වල ඉදිරිපෙල මෙහෙයුම් සඳහා කාන්තා නියෝජනය ඉහළ නැංවීමට අපි නිරන්තරයෙන් උත්සාහ කළා. එහි එක් පියවරක් ලෙස හොරණ පිහිටි අපගේ කර්මාන්තශාලාව සඳහා ප්‍රථම වරට කාන්තා සේවිකාවන් බඳවා ගැනීම අපගේ විවිධත්වයෙන් යුත් රැකියා ස්ථානයක් නිර්මාණය කිරීමේ සුවිසල් ජයග්‍රහණයක් ලෙස පෙන්වා දිය හැකියි. එසේම ගෘහස්ත හිංසනය සහ කාන්තාවන්ගේ මාතෘත්වය පිළිබඳ ප්‍රතිපත්ති  වැනි බොහෝ ක්ෂේත්‍රයන්හි මූලික ප්‍රතිපත්ති  දියත් කිරීමට අපි කටයුතු කළ බව ආඩම්බරයෙන් සඳහන් කළ හැකියි. විවිධත්වය යනුවෙන් අප සළකනු ලබන්නේ ස්ත්‍රී පුරුෂ සමතුලිතභාවය පමණක් නොවේ. සියලු අංශයන්හි විවිධ පුද්ගලයන් ඇතුළත් වාතාවරණයක් සකස් කිරීමත් ඊට අදාළයි. සෑම කෙනෙකුටම තමන්ගේ හැකියාවන් තුලින් ඉදිරියට යාමට සැළැස්වීම තුලින් පුද්ගලයන්ගේ මෙන්ම ආයතනයන්හි දියුණුවටත් උපකාරී වන බව මා තරයේ විශ්වාස කරනවා” යනුවෙන් සඳහන් කරන ලදී.

    යුනිලිවර් ශ්‍රී ලංකා අත්කරගත් මෙම සුවිශේෂී සංධිස්ථානය පිළිබඳව අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකාහි සේවක සබඳතා ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ මානව සම්පත් ව්‍යාපාර හවුල්කාරිණී නයනි පීරිස් මහත්මිය පවසා සිටියේ “වසර ගණනාවක් තිස්සේ විවිධත්වයෙන් යුතු රැකියා ස්ථානයක් නිර්මාණය කිරීම සඳහා සිදු කළ අපගේ සැලසුම්වල ප්‍රතිඵලයක් ලෙස හොරණ කර්මාන්තශාලාව සඳහා බඳවා ගත් ප්‍රථම කාන්තා බලකාය පෙන්වා දිය හැකියි. එය ආකර්ෂණීය වූ  දිගු කාලීන ප්‍රයත්නයක් හරහා ප්‍රථම වරට එය නිවැරදිව කර ගැනීමට අපට හැකි වීම ඉතාමත් වැදගත්. ආරම්භයේ සිටම පිරිමි සේවකයින්ගෙන් සැදුම්ලත් අපගේ හොරණ කර්මාන්තශාලාව තුළ කාන්තා සේවිකාවන්ට ගැළපෙන ආකාරයේ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා විවිධ වෙනස්කම් සිදු කිරීමට අපි කටයුතු කළා. රැකියා ස්ථානයන් වෙනුවෙන් වැඩි වැඩියෙන් කාන්තා නියෝජනයන් ඇති කිරීමේ උත්සාහය හා ඒ වෙනුවෙන් ගත් පියවර සම්බන්ධයෙන්  මා ඉතාමත් සතුටුයි.” යනුවෙනි.

    මේ සම්බන්ධයෙන් අදහස් එක් කළ යුනිලිවර් ශ්‍රී ලංකාහි හොරණ කර්මාන්තශාලා කළමනාකාර දමිත් අබේරත්න මහතා “කාන්තාවන්ට හිතකාමී භෞතික හා ආකල්පමය පරිසරයක් ගොඩනැගීම සඳහා අපි විශාල වශයෙන් ආයෝජනය කර තිබෙනවා. කාන්තාවන් සවිබල ගන්වමින් සේවා ස්ථානය තුළ සමානාත්මතාව හා විවිධත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මේ ආකාරයේ කාර්යභාරයක් සිදු කිරීමට ලැබීම අප සියලු දෙනාගේ සතුටට කරුණක් ලෙස සඳහන් කළ හැකියි” යනුවෙන් පැවසීය.

    පසුගිය වසර 3ක පමණ ඉතා කාර්ය බහුල කාල සීමාව තුළ තාවකාලික සේවකයින් ලෙස කාන්තා සේවිකාවන් බඳවා ගැනීමට කටයුතු කළ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සිය ප්‍රථම කාන්තා කර්මාන්තශාලා බලකාය රැකියා ගත කිරීම වෙනුවෙන් පුළුල් සැලැස්මක් අනුගමනය කළේය. එහිදී ඔවුන්ට යුනිලිවර් ශ්‍රී ලංකා විසින් පවත්වනු ලැබූ ‘ඔබේ අරමුණ සොයා යන්න’වැඩමුළුව සඳහා සම්බන්ධ වෙමින් රැකියාවේ පමණක් නොව පුද්ගලික ජීවිතයේ වර්ධනයක් අත්පත් කර ගැනීමට අවකාශ උදා කරගන්නා ලදී. ඊට අමතරව සේවක සේවිකාවන් වෙනුවෙන් 24/7 ගිලන් රථ සේවාව, ආයතනය තුළ පිහිටි දන්ත ශල්‍යාගාර පහසුකම්, අක්ෂි හා ආයුර්වේද වෛද්‍ය සේවා, වෛද්‍ය උපදේශන සේවා, ආයතනික ෆාමසිය තුළින් අවශ්‍ය බෙහෙත් වර්ග වැනි සේවාවන් රැසක් ලබා දීමට කටයුතු කර ඇති අතර ඊට අමතරව පුද්ගලික හා වෘත්තීය ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සේවිකාවන් සඳහා මාස 6ක මාතෘ නිවාඩු ප්‍රතිපත්තිය දීර්ඝ කිරීමටද යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය පියවර ගෙන ඇත.

    එසේම සිය සේවක සේවිකාවන්ට රැකියා ස්ථානය තුළදී තමන් විසින්ම දියුණුව සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි ජනතා කේන්ද්‍රීය මැදහත්කරණය හා ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් වන වැඩ කටයුතු අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමටද යුනිලිවර් ශ්‍රී ලංකා කටයුතු කරනු ඇත.