යුනිලිවර් සමාගමේ ‘සෞභාග්‍ය’ වැඩසටහන තුළින් පාසල් සිසුන් වෙත තවත් ශිෂ්‍යත්ව 41ක් පිරිනමයි

    February, 21, 2022

    කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ 18 වැනි වසර සමරයි

    යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් සංවිධානය කරනු ලබන ‘සෞභාග්‍ය’ වැඩසටහන යටතේ කාන්තා ව්‍යවසායකයින්ගේ පාසල් දරුවන් සඳහා තවත් ශිෂ්‍යත්ව 41ක් ප්‍රදානය කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. ව්‍යවසායකයින් ලෙස කටයුතු කරනු ලබන කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන්  වසර 18 ක් තිස්සේ ක්‍රියාත්මක මෙම සෞභාග්‍ය වැඩසටහන තුළින් මේ වන විට පිරිනමා ඇති සමස්ත ශිෂ්‍යත්ව ප්‍රමාණය 500කට අධිකය. එසේ ශිෂ්‍යත්ව ලබා දුන් දරුවන් අතුරින් 150කට වැඩි ප්‍රමාණයක් දේශීය විශ්ව විද්‍යාල සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන් වෙත ඇතුළත් වීමට සමත්ව තිබීමද විශේෂත්වයකි.

    ශ්‍රී ලංකා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ එක්ව ක්‍රියාත්මක වන යුනිලිවර් ‘සෞභාග්‍ය’ වැඩසටහන මෙරට පැරණිතම රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ලෙසද පෙන්වා දිය හැකියි. ඒ තුළින් ග්‍රාමීය කාන්තාවන් හට යුනිලිවර් ආයතනය සමඟ ඍජුවම සම්බන්ධ වෙමින් නිවසේ සිට යුනිලිවර් සන්නාමයන්හි පාර්ශ්වකරුවන් බවට පත්වීමේ අවස්ථාව සළසා දී ඇත්තේ ඔවුන් වෙත තිරසාර ජීවනෝපායක් සපයා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙමිනි. යුනිලිවර් සමාගමේ ‘සෞභාග්‍ය’ වැඩසටහන හා බැඳුණු  ‘දිරිය’ වැඩසටහන නිර්මාණය කර ඇත්තේ කාන්තා ව්‍යවසායකයින් වාර්ෂිකව හා දිගු කාලීනව ලබා ඇති ජයග්‍රහණ හඳුනා ගැනීම වෙනුවෙනි. එහි එක් පියවරක් ලෙස විශේෂ අධ්‍යාපනික කඩඉම්වලදී සුවිශේෂී දස්කම් දක්වනු ලබන  හා සෞන්දර්යය හා ක්‍රීඩා ක්ෂේත්‍රයන්හි හැකියාවන් ප්‍රකට කළ එම ව්‍යවසායකයින්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කරනු ලබයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ අධ්‍යක්ෂ - පාරිභෝගික සංවර්ධන -අරුණ මාවිල්මඩ මහතා පවසා සිටියේ “අපගේ සෞභාග්‍ය වැඩසටහනේ විශේෂත්වය වන්නේ තිරසාර ආදායමක් ඉපැයීමේදී කාන්තාවන් මුහුණ දෙන අභියෝගවලට විසඳුම් ලබාදීම පමණක් නොව ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අනාගතය සාර්ථක කර ගැනීම සඳහා වන පොරොන්දු ඉටු කිරීමයි. අපි ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින අතර ඔවුන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල ජීවන තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් නිරන්තර සහයෝගය ලබා දීමට කටයුතු කරනවා.’‘ යනුවෙනි.

    යුනිලවර් සමාගමේ බෙදාහැරීම් ජාලය තුළ කාන්තාවන් ආර්ථික වශයෙන් ඇතුළත් කර ගැනීමේදී මුහුණ දෙන දුෂ්කරතා සහ එම බෙදා හැරීම් ජාලය තුළ ඔවුන් ඉටු කරන අත්‍යවශ්‍ය කොටස පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ‘සෞභාග්‍ය’ වැඩසටහන නිර්මාණය කරනු ලැබීය. 2003 වසරේදී ශක්තිමත් කාන්තා ව්‍යවසායකයින් 5 දෙනෙකුගෙන් ඇරඹි මෙම වැඩසටහන මේ වන විට එවන් ව්‍යවසායකයින් 5000ක් සමඟ එක්ව කටයුතු කරනු ලබයි.