රජයේ වැවිලි ආයතන සතු විශාල ඉඩම් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීමට ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක්

    February, 13, 2024

    ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව වැනි රජයේ වැවිලි ආයතන සතු විශාල ඉඩම් ප්‍රමාණයක් නීතිමය ගැටලු, ආයතනික ගැටුම්, ප්‍රාග්ධන හිඟය යනාදී විවිධ හේතූන් මත දීර්ඝ කාලයක් තිස්සේ වගාවකින් හෝ ඵලදායී භාවිතයකින් තොරව පවතින බව 2023 සහ 2024 වර්ෂයන් සඳහා වූ අයවැය කථාවන්හිදී ජනාධිපතිවරයා විසින් පෙන්වා දී ඇත.

    එවැනි විශාල පරිමාණයේ ඉඩම් හා ඌණ උපයෝජිත ඉඩම් අපනයනය කළ හැකි භෝග වගා කිරීම, අපනයනය සඳහා පශු සම්පත් ගොවිපොළ ඇති කිරීම සහ වෙනත් අපනයනය කළ හැකි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා විභවතාවයන් සහිත තෝරා ගනු ලබන ආයෝජකයන් වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම යෝග්‍ය බවට හඳුනා ගනු ලැබ ඇත.

    ඒ සඳහා දේශීය ව්‍යවසායකයන් සම්බන්ධ කර ගනිමින් සමාජයට බහුවිධ ප්‍රතිලාභ අත්වන අයුරින් එකී ඉඩම් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම පිණිස රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යාංශය විසින් වැවිලි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් සකස් කරනු ලැබ ඇත.

    එකී වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.