රජිනිකාන්ත්ගේ අලුත්ම චිත්‍රපටය නිසා දකුණු ඉන්දියාවට හෙට නිවාඩු

    August, 9, 2023

    දකුණු ඉන්දීය මහා නළු රජිනිකාන්ත් ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන නවතම චිත්‍රපටය වන ‘Jailer‘ හෙට (10) දිනයේ දී තිරගත වීම ආරම්භ කිරීමට නියමිතය.

    මේ හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්තවල සමාගම් සහ කාර්යාල රැසක්ම හෙට (10) දිනය නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව චෙන්නායි හා බැංගලෝර් හි කාර්යාල රැසක්ම හෙට දින වැසෙනු ඇත.

    එසේම හෙට දිනයේ දී Jailer චිත්‍රපටය නැරඹීම සඳහා සමාගම් කිහිපයක්ම සිය සේවකයින් හට නොමිලේ ටිකට්පත් ලබා දී ඇති බව ද වාර්තා වේ.

    ඉන්දීය රු. කෝටි 200 ක වියදමකින් නිපදවා ඇති Jailer චිත්‍රපටය දකුණු ඉන්දීය සිනමා අධ්‍යක්ෂ නෙල්සන් දිලිප්කුමාර් ගේ අධ්‍යක්ෂනයකි.

    රජිනිකාන්ත් ට අමතරව මෝහන්ලාල්, ජැකී ෂරොෆ්, ශිවා රාජ්කුමාර්, රම්‍යා ක්‍රිෂ්ණන් යනා දී ජනප්‍රිය නළු නිළියන් රැසක් Jailer හි චරිත නිරූපණය කරනු ඇත.