රටේ ආර්ථිකයේ වැඩි බරක් දරන්නේ කාන්තාවන්  – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන්

    March, 25, 2024

    ජාත්‍යන්තර කාන්තා දිනය හුදු තවත් සැමරුම් දිනයක්  පමණක්ම නොව, එය  විවිධ ක්ෂේත්‍ර හරහා කාන්තාවන්ගේ   ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව සහ ජයග්‍රහණ පිළිබඳ අගය කිරීමේ දිනයක් බවත්, ගෝලීය   වශයෙන් කාන්තාවන්ගේ   ජයග්‍රහණ සමරන අද දිනයේ ශ්‍රී ලංකා  ආයෝජන මණ්ඩලය  මෙරට කාන්තාවන්   ශ්‍රී ලංකාවේ ආර්ථික   සංවර්ධනයට   ඇදහිය නොහැකි  ලෙස ලබාදෙන පුළුල්  දායකත්වය අභිමානයෙන් සමරණ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය පැවසුවාය.

    වීරකෝන් මහත්මිය මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සීතාවක අපනයන සැකසුම් කලාපයේ පසුගිය මාර්තු 14 වන දින පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයේ ආරාධිත දේශනය පවත්වමිනි.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ වීරකෝන් මහත්මිය, 2024 ජත්‍යන්තර කාන්තා දින වැඩ සටහනේ තේමාව වන්නේ “Inspire Inclusion”  යන්නයි. එමගින් “සීමාවන් සහ ඒකාකාරි අභියෝගයන් බිද දැමීමට ක්‍රියා කරමින් සියලු කාන්තාවන් අගයන සහ නිසි ගරුත්වයක් ලබා දෙන පරිසරයක් නිර්මාණය කිරීම” අරමුණු කොට තිබෙනවා.අපේ රටේ සංඛ්‍යා ලේඛන අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කාන්තාවන්ගේ සෘජු දායකත්වය   33% පමණ වුවත්, වක්‍රාකාරව ඔවුන්ගේ දායකත්වය එයට වඩා වැඩි  ප්‍රමාණයක් බව අප දන්නවා.

    කාන්තාවන් කියන්නෙ ආර්ථිකයට විශාල ශක්තියක් සපයන සම්පතක්.  විශේෂයෙන්ම රැකියාවේ වගකීම් දරන අතරම පවුලේ  වගකීම් ද නොපිරිහෙලා ඉටු කිරීමට කාන්තාවන්ට හැකි වී තිබෙනවා. දරුවන් නිසි මාර්ගයට යොමු කිරීම තුළින් යහපත් අනාගතක්  නිර්මාණය  කිරීමේ භාරදූර වගකීම පවතින්නේද  කාන්තාවන් තුලයි.

    වත්මන් කාන්තාව අධ්‍යාපනය සිය වටිනාම ආභරණය බවට පත් කරගෙන ඇති බවත්,  ශක්තිමත් අධ්‍යාපනික පදනමක් සහිත කාන්තාව ඕනෑම අභියෝගයක් හමුවේ  ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී සිටින අතර,  තම වෘත්තීය  තුල සහ ඉන් පරිභාහිරව දැනුමෙන් සන්නද්ධ වනවා සේම යාවත්කාලීන වූ කාන්තාවක් වීමට ක්‍රියා කරන ලෙස, අධ්‍යක්ෂ ජනරාල් වරිය සියළු කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියාය.

    මෙහිදී සීතාවක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවල සේවක සේවිකවන් අතර පැවැත්වූ ගායන, නර්ථන,ගද්‍ය ,පද්‍ය, චිත්‍ර, නිසදැස්, සදැස් යන තරග අංශයන්හි ජයග්‍රහනය කළ ජයග්‍රහකයන්ට ත්‍යාග ප්‍රධානය සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරියන් වන නදීකා අද්‍රාහැන්නදි, ගීතා රණසිංහ, සීතාවක අපනයන කලාපයේ අධ්‍යක්ෂ සුජීව තිලකුමාර, ජේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ චම්පා විජේසිංහ,නියෝජ්‍ය අධ්‍යක්ෂිකා  අමිතා පද්මිණී, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය මදාරා ජයරත්න සහ කේ. ලෝහගීතා යන මහත්ම මහත්මීන්ද  සහභාගි වූහ.