රට යන්න බොරු EPF වාර්තා හදලා. මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

    August, 16, 2023

    සේවක අර්ථසාධක අරමුදල හා සම්බන්ධ ව්‍යාජ ලේඛන සැලසීම නීති විරෝධී කටයුත්තක් වන බැවින් එවැනි කටයුතුවල නිරත නොවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දොපර්තමේන්තුව මහජනතාව සහ අනෙකුත් සියලුම ආයතනවලින් ඉල්ලා සිටී.

    මෙහිදී මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ වීසා ලබා ගැනීම, විදේශ රැකියා සඳහා අයදුම් කිරීමේ දී ස්ථිර රැකියාවක්/ සේවා පළපුරුද්දක් ඇති බවට මෙන්ම විවිධ රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතනවල ප්‍රසම්පාදන පටිපාටි සඳහා අයදුම් කිරීමේ දී ආයතනයෙහි ස්ථාපිත බව, සේවා පළපුරුද්ද සහ කාර්ය මණ්ඩලයෙහි සාමාජික සංඛ්‍යාව වැනි කරුණු තහවුරු කිරීම සඳහා එවැනි ව්‍යාජ ලෙස සකසන ලද ලේඛන ඉදිරිපත් කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

    රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සහ වෙනත් විවිධ ආයතන විසින් සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද සේවක අර්ථසාධක අරමුදල හා සම්බන්ධ ලේඛනවලට අනුව, ඇතැම් පුද්ගලයන් සහ සංවිධාන ව්‍යාජ ආයතනික නම්, ලිපිනයන්, සාමාජික අංක, සාමාජික නම් සහ සාමාජික දායක මුදල් පිළිබඳ ව්‍යාජ තොරතුරු ඇතුළත් ලේඛන සකස් කර ඇති බව නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටී.