• Ada Derana BIZ Sinhala
  • ranjith siyabalapitiya
  • rubber
  • sri lanka

රබර් ­ආනයනය දැඩි ලෙස නියාමනය කිරීමත් සමග දේශීය රබර් මිල ස්ථාවර වෙයි, ආනයනය ශීඝ්‍ර ලෙස පහළට – රංජිත් සියඹලාපිටිය

December, 15, 2022

ප්‍රමාණය ඉක්මවා රබර් ආනයනය දැඩි නියාමනයකට ලක් කිරීමත් සමග දේශීය රබර් මිල ස්ථාවර මට්ටමකට පැමිණෙමින් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එසේ ම රබර් ආනයනයේ ශීඝ්‍ර පහළ යාමක් ද පෙන්නුම් කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. දේශීය රබර් මිල පහත බැසීම සහ අතිරික්ත ආනයනය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ දෙවැනි ප්‍රගති සමාලෝචන රැස්වීම පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (15) මේ බව කියා සිටියේ ය.

“ඔක්තෝබර් මසයේ දී මෙට්‍රික් ටොන් 4058ක් වූ රබර් ආනයනය නොවැම්බර් මාසය වෙද්දි 2126ක් බවට පත් වෙනවා. එය 48%ක පහළ යාමක්. නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මස 10 දක්වා කාලය තුළ සමස්ත රබර් ආනයනය ද 77%කින් පහළ ගිහින් තියෙනවා. දෙසැම්බර් 10 දක්වා රබර් ආනයනය දැක්වෙන්නේ මෙට්‍රික් ටොන් 162ක් ලෙස” යැයි අමාත්‍යවරයා පැවැසීය.

දේශීය සුළු පරිමාණ රබර් වගාකරුවන් සිය නිෂ්පාදන අලෙවි කර ගත නොහැකි මට්ටමට පත් වීමත් සමග ඊට හේතු සොයා බැලීම සඳහා අදාළ කමිටුව පත් කෙරුණු අතර වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, වාණිජ මණ්ඩලය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තු ඇතුළ ආයතන නියෝජනයවල නියෝජිතයන්ගෙන් එම කමිටුව සමන්විත ය.

Video Story

Stock Market

Exchange Rates