රවී කියන බිලියන අටේ ගිණුම ගැන ගෝඨා කතා කරයි

    January, 19, 2015

    මා නමින් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ තිබූ ගිණුමක රුපියල් බිලියන 08 ක මුදලක් තිබී එය මහා භාණ්ඩාගාරය යටතට ගත්තායැයි පළවූ පුවත නොමග යවන සුළු එකක් බවත් එය තමාගේ කීර්ති නාමය පළුදු කිරීමට ගොතා ඇති එකක් බවත් හිටපු ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.

    මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ පැලවත්තේ යුධ හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් කටයුතු කිරීමට මුදල් වියදම් කිරීම සඳහා ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ක්‍රියාකාරී ගිණුමක් තිබූ බවයි.

    මෙම ගිණුම ආරම්භ කළේ කැබිනට් මණ්ඩල අනුමැතිය සහිතව බවත් ඒ සඳහා කොළඹ ගාලු මුවදොර පිහිටි යුධ හමුදා මූලස්ථානය පිහිටි ඉඩම කල්බදු ක්‍රමයට ලබාදීමෙන් ලබාගත් මුදල් තැන්පත් කර තිබුණු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. පැලවත්ත යුධ හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කළ පසුව ඉදිකිරීම් කරගෙන ගිය ආකාරයට අනුව කොන්ත්‍රාත් කරුවන්ට සහ සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම සඳහා මෙම ගිණුමෙන් මුදල් ආපසු ලබාගත් බව සඳහන්ය.

    මෙම ගිණුම ආරක්ෂක ලේකම්වරයා වූ තමාගේ අධීක්ෂණයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා සහ අනිකුත් බලයලත් නිළධාරීන් විසින් පවත්වාගෙන ගියායැයි රාජපක්ෂ මහතා කියා තිබේ.

    සියළුම චෙක්පත් නිකුත් කරනු ලැබුවේ සහතික කළ ගෙවීමේ වවුචර සඳහා දෙදෙනෙකුගේ අත්සන් සහිතව බවත් 2011 වසරේදී ගිණුම ආරම්භ කරන විට එහි රුපියල් බිලියන 20 ක පමණ මුදල් තිබූ බවත් සෑම වසරකටම යුධ හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් සඳහා අවස්ථානුකූලව මුදල් ආපසු ලබාගත් බවත් සඳහන්ය.

    බලයලත් පුද්ගලයින්ගේ නම් සහ අත්සන් බැංකුවෙන් සහ ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධාන ගිණුම් නිළධාරියාගෙන් ලබාගත හැකියැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ. තමා ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉවත් වනවිට මෙම ගිණුමේ රුපියල් බිලියන 08 කට වැඩි තැන්පතු තිබුණායැයි හෙතෙම කියා තිබෙන අතර එය මහා භාණ්ඩාගාරයෙන් පරීක්ෂාකර ගත හැකියැයි පවසා තිබේ.

    තමා ආරක්ෂක ලේකම් ධූරයෙන් සමුගත් පසුව මෙම ගිණුමේ භාරකරුවා බවට නව ආරක්ෂක ලේකම්වරයා පත්වන බවත් ඔහුට මේ සියල්ල පරීක්ෂාකිරීමට හැකි බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර තිබේ. මෙම ගිණුම තමාගේ පුද්ගලික ගිණුමක් නොවන බවත් ආරක්ෂක ලේකම්වරයා ලෙස එම ධූරය ප්‍රකාරව අනිකුත් බලයලත් නිළධාරීන් සමග තම නම අත්සන්වල ඇතුළත්වී තිබෙන බව පමණක් හෙතෙම මාධ්‍ය වෙත කළ පැහැදිලි කිරීමේදී අවධාරණය කර තිබේ.

    මේ නිසා, තමාගේ නමින් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ රුපියල් බිලියන 08 ක පුද්ගලික ගිණුමක් තිබුණා යැයි පැවසීම සාවද්‍ය බවත් මෙම චෝදනාව තමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් මේ පිළිබඳව බැංකුව සහ මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර මෙම ගිණුම පිළිබඳව නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන ලෙස නව ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවත් රාජපක්ෂ මහතා කියා තිබේ.

    කෙසේවෙතත්, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා චෝදනා කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් පුද්ගලික ගිණුමක රුපියල් මිලියන 7500 ක පමණ මුදලක් තිබූ බවත් එය මහා භාණ්ඩාගාරය යටතට පත්කර ගත් බවයි.