රාජ්‍ය ණය පහළට

    June, 3, 2026

    2026 පළමු කාර්තුවේ දී මධ්‍යම රජයේ ණය ඩොලර් බි. 100.35 සිට ඩොලර් බි. 98.96ක් දක්වා 1.38%කින් පහළට

    2026 මාර්තු 31 දින වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් මිලියන 102,267ක් බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පවසයි. 2026 පළමු කාර්තුව සඳහා Debt
    Bulletin වාර්තාව නිකුත් කරමින් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය මේ බව සඳහන් කරයි.

    2025 වසර අවසානයේ දී ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් මිලියන 103,861ක් ලෙසින් වාර්තා වූ අතර එය මේ වන විට ඩොලර් මිලියන 102,267ක් දක්වා මේ අනුව පහළ ගොස් ඇත.

    මෙම ඩොලර් මිලියන 102,267 තුළ මධ්‍යම රජයේ ණය ඩොලර් මිලියන 98,965ක්, රාජ්‍ය ව්‍යවසාය ණය (සහතික කළ) ඩොලර් මිලියන 3,279ක් සහ පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් ගෙවිය යුතු ණය ඩොලර් මිලියන 23ක් ලෙස සඳහන් වේ.

    මෙම වාර්තාව මගින් අනාවරණය වන විශේෂ කරුණක් වන්නේ 2025 වසර අවසානයේ දී පැවති ඩොලර් මිලියන 100,356ක් වූ මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය, 2026 පළමු කාර්තුව අවසානයේ දී ඩොලර් මිලියන 98,965ක් දක්වා 1.38%කින් පහළ ගොස් තිබීමයි.

    මෙම මධ්‍යම රජයේ ණය, දේශීය ණය ඩොලර් මිලියන 61,497ක් හා විදේශීය ණය ඩොලර් මිලියන 37,468ක් ලෙසින් වාර්තා වේ.

    2025 වසර අවසානයේ දී මධ්‍යම රජයේ විදේශීය ණය ඩොලර් මිලියන 37,663ක් ලෙසින් සටහන් වූ අතර එය 2026 මාර්තු 31 වන විට ඩොලර් මිලියන 37,468ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබේ.