රියදුරු සේවයේ යෙදීමට පික්මී වෙතින් කාන්තාවන්ට අවස්ථාවක්

    February, 24, 2016

    ජංගම උපාංග තුළින් ප්‍රවාහන සේවා විසදුම් සපයන ආයතනයක් ලෙස දේශීය ජනයා අතර ජනප්‍රියත්වයට පත්ව ඇති පික්මී සමාගම කාන්තාවන්ගේ ආර්ථික තත්වය ශක්තිමත් කිරීම සදහා ඔවුන්ටද රියදුරු සේවයට බැදීමේ අවසථාව සහ ඊට සුදුසු පරිසරයද උදාකරදී තිබේ.

    මෙම කාන්තාවන් රියදුරුවරියන් ලෙස සේවයේ යෙදී සිටින කාල පරාසයන් තුළ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිරන්තර පසුවිපරමක යෙදීමේ වැඩසටහන් පික්මී ආයතනය සැලසුම් කර තිබේ. රියදුරුගේ මෙන්ම සේවාව ලබා ගන්නා මගීන්ගේද තොරතුරු, ආයතනයේ ඇති සවර් (server) පද්ධතිය තුළ ගබඩා වන හෙයින් දෙපාර්ෂවයම සදහා ආරක්ෂාව පික්මී විසින් සපයනු ලබේ. පික්මී රියදුරන් දිනකට පැය 8ක සේවා කාලයක නිරත වන අතර එම සේවා කාලය තමන්ට පහසු පරිදි සැලසුම් කර ගැනීමේ ඉඩ ප්‍රස්තාවද ආයතනය විසින් ඔවුන්ට ලබා දී ඇත. එමගින් විශේෂයෙන්ම කාන්තාවන්ට තමන්ට අවශ්‍ය ලෙස පවුලේ කටයුතු වලට අවධානය යොමු කිරීමට හැකියාව ලැබේ.

    පික්මී ආයතනයේ සේවය කරන කාන්තා රියදුරුවරියක් වන රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි ලසදා දීප්ති මහත්මිය තම සේවාව පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේ ත්‍රීරෝද රථ රියදුරුවරියක් වශයෙන් කටයුතු කල තමා සිසුන් කිහිපදෙනෙකු පාසැල් වලට ගෙනයාම හා නිවස්වලට හැරලීම වෘත්තියක් වශයෙන් ආරම්භ කළ බවයි. එම ත්‍රීරෝද රථයේ හිමිකරුට දිනකට යම් මුදලක් ගෙවීමේ පොරොන්දුව මත මෙම රැකියාව සිදුකලත් ඉන් ලැබුණු ආදායම තම පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවූ බව ඇය පවසයි.

    මේ නිසා මූල්‍ය සේවා සපයන ආයතනයක උපකාරය ඇතුව තමාටම ත්‍රීරෝද රථයක් මිළට ගෙන වැඩි මුදලක් උපයා ගැනීමේ අදහසින් ඇය පික්මී ආයතනයට බැදුණි. එය ඉතා හොද තීරණයක් බව පවසන ඇය කියා සිටියේ පික්මී ආයතනයට එක්වීමෙන් එම රථයට ගෙවිය යුතු මාසික වාරිකය සහ තම පවුලේ නඩත්තුවට අවශ්‍ය තරම් මුදල් උපයා ගැනීමටද ඇයට හැකියාව ලැබුණු බවයි.

    විවාහක කාන්තාවක් වශයෙන් තම දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවධානය යොමුකර ගෘහනියක් වශයෙන් නිවසේ වැඩකටයුතු නිසියාකාරව ඉටු කරමින් තමන්ට දවසේ ඕනෑම වෙලාවක කිසිදු බියකින් තොරව පික්මී ආයතනයේ රියදුරුවරියක් ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබෙන බව දීප්ති මහත්මිය පැවසීය.

    තවද රියැදුරන් විසින් මගීන් හට ලබා දෙන සේවාවේ ගුණාත්මකභාවය අගය කිරීම සදහා තරු ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් පික්මී ආයතනය විසින් පාරිභෝගිකයින්ට හදුන්වා දී තිබේ. ඒ අනුව සෑම රියදුරෙකුටම එකේ සිට පහ දක්වා තරු ලබා දිය හැකි අතර තරු ලකුණු වැඩි වශයෙන් හිමිකර ගන්නා රියදුරන් හට සෑම මසකදීම ත්‍යාග ප්‍රධානයක්ද සිදුකරයි. “මෙය අප කාන්තා රියදුරන් වැඩි අවධානයක් යොමු කරන අංගයකි. අපගේ කැපවීම සහ උත්සහය අගය කිරීමත් සමගම ගෙදරට අවශ්‍ය උපාංගද මෙමගින් දිනා ගැනීමට හැකියාව ලැබේ.” එමෙන්ම කාන්තා රියදුරන්ට පික්මී පාරිභෝගිකයින් විශාල ගෞරවයක් දක්වන අතර ඇතැම් පාරිභෝගිකයින් ඇයට ආරක්ෂිත ලෙස ගමන් කිරීමට හැකි මාර්ග පිළිබද දැනුවත් කළ අවස්ථා තිබූ බව ඇය පවසා සිටියාය.

    දැනට පික්මී ආයතනයේ කාන්තා රියදුරුවරියන් දොළොස්දෙනෙකු පමණ කොළඹ දිස්ත්‍රික්කය තුළ සේවයේ යෙදී සිටින බව ප්‍රකාශ කල ඇය පික්මී යෙදුම (app) භාවිතා කරමින් පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කාර්යාල සේවක සේවිකාවන් හා විවිධ ආයතනවල පුද්ගලයින් විශේෂයෙන් තම රියදුරු සේවාව ලබාගන්නා බව ඇය වැඩිදුරටත් සදහන් කළේය.

    පාරිභෝගිකයින් වෙනුවෙන් ත්‍රීරෝද රථ, කුඩා කැබ් රථ මෙන්ම සෙඩාන් වර්ගයේ රථ සේවයේ යොදමින් පහළ සිට මධ්‍යම සහ ඉහළ තලයේ සිටින පාරිභෝගිකයින්ට ගුණාත්මක සේවාවක් සැපයීම පික්මී ආයතනයේ අපෙක්ෂාවයි.