රුපියලේ ක්ෂණික පිබිදීමක්

    August, 2, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 309.70 ක් ලෙසත් විකුණුම් මිල රු. 322.68 ක් ලෙසත් සටහන් වී තිබේ.

    මීට පෙර වෙළෙඳපොළ දිනය වූ පසුගිය ජූලි 31 දින විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුමු මිල රු. 322.96 ක් ලෙසත් විකුණුම් මිල රු. 335.40 ක් ලෙසත් වාර්තා විය.

    මේ අනුව ශ්‍රී ලංකා රුපියලේ අති ප්‍රමාණය වීමක් දැකිය හැකිව තිබේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2023 වසරේ ජූලි 31 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 10.2කින් අතිප්‍රමාණය වී ඇති බවයි.

    මේ අතර අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2023 වසරේ ජූලි 31 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල යුරෝ, ස්ටර්ලින් පවමු, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව අතිප්‍රමාණය වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

    කෙසේ වෙතත් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ ද්‍රවශීලතා තත්ත්වයන් පිළිබිඹු කරමින් 2023 වසරේ ජුනි මාසය තුළ දී ශ්‍රී ලංකා රුපියලෙහි අවප්‍රමාණය වීමක් වාර්තා වී ඇති බව මහ බැංකුව කියා සිටී.