රුපියල අවප්‍රමාණයෙන් සියළුම ආනයන භාණ්ඩවල මිල ඉහළට

    September, 7, 2015

    පසුගිය සිකුරාදා ඩොලරයට සාපේක්ෂව රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වීම නිසා සියළුම ආනයන භාණ්ඩවල මිල ඉහළ යන බවත් අපනයන ආදායම් වැඩිවනු ඇති බවත් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

    මෙම බලපෑම නිසා මෙරටට ආනයනය කරන ආහාර පානවල සිට සියළුම භාණ්ඩවල මිල ගණන් ඉදිරියේදී ඉහළ යෑමේ අවධානමක් තිබේ.

    කෙසේවෙතත්, රුපියල අවප්‍රමාණයවීම සියළුම අංශවල අපනයන ආදායම් ඉහළ යෑමට හේතුවේ.

    තේ කර්මාන්තයේ යෙදී සිටින ව්‍යාපාරිකයෙකු මේ පිළිබඳව අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.

    “රුපියල අවප්‍රමාණය වීම නිසා තේ අපනයන ආදායම් ඉදිරියේදී වැඩිවීමේ අවස්ථාවක් තිබෙනවා. මේ වනවිට, රුසියාවේ සහ මැදපෙරදිග ඇතිවී තිබෙන අර්බුද නිසා අපේ තේ කර්මාන්තය අසීරු තත්ත්වයකට පත්වෙලයි තිබෙන්නෙ. මෙවැනි අවස්ථාවක අපේ අපනයන ආදායම් වැඩිවීම යම් තරමක අස්වැසිල්ලක්.“

    ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මහ බැංකුවේ මැදිහත් වීමකින් තොරව පසුගිය සිකුරාදා (04) සිට නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදීමත් සමග මුදල් වෙළඳ පොළේදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය විය.

    පසුගිය සිකුරාදා (04) මුදල් වෙළඳ පොළේ ගනුදෙනු අවසන් වනවිට ඩොලරයක මිල රුපියල් 138 කට ආසන්න අගයක් ගන්නා ලදී.

    මහ බැංකුව විසින් අවශ්‍ය අවස්ථාවකදී හැර විදේශ විනිමය වෙළඳ පොළට කරන මැදිහත්වීම පසුගිය සිකුරාදා සිට නතර කර තිබේ.

    චීනය විසින් අගෝස්තු 11 වනදා යුවාන් මුදල් ඒකකය අවප්‍රමාණය කළදා පටන් මේ දක්වා ඉන්දියානු රුපියල සියයට 3.9 කින්ද, මැලේසියානු රින්ගිට් මුදල් ඒකකය සියයට 08 කින්ද, ඉන්දුනීසියානු රුපියා මුදල් ඒකකය සියයට 4.5 කින්ද අවප්‍රමාණය වී ඇත.